ඉරාකයේ හා සිරියාවේ අයිඑස් සංවිධානයට එරෙහි ඔස්ට්‍රේලියානු ගුවන් ප්‍රහාර අවසන් කරයි

ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්) සංවිධානයට එරෙහිව ගෙනගිය සිය ගුවන් ප්‍රහාර නවතන බව ඔස්ට්‍රේලියාව පැවසීය.

ඒ අනුව හොර්නට් යානා හයක් ඔස්ට්‍රේලියාව විසින් යළි කැඳවාගනු ලැබුන ද ඉරාකයේ ඉල්ලීම මත ඉන්දන යළි පිරවුම් යානා මෙන්ම ඔත්තු බැලීමේ යානා ද තවදුරත් රඳවනු ඇත.

ජාත්‍යන්තර සන්ධානයේ කොටසක් ලෙස ඔස්ට්‍රේලියාව විසින් වසර දෙකකට වැඩි කාලයක් පුරා එම ගුවන් ප්‍රහාර ක්‍රියාත්මක කරනු ලැබිණි.

අයිඑස් සංවිධානයට එරෙහිව ජයග්‍රහණය ලැබීම ඉරාකය විසින් මෑතදී ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සිය ගුවන් ප්‍රහාර නැවතීම පිළිබඳ නිවේදනය කළ බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක ඇමති මරිස් පෙයින් පැවසුවාය.

මේ තීරණය ගැනීමට පෙර ඉරාකය මෙන්ම අනෙකුත් මිත්‍ර පාර්ශ්ව සමග සාකච්ඡා කළ බව ද ඇය සඳහන් කළාය.

ඇමෙරිකාව ප්‍රධානත්වය දැරූ හමුදා සන්ධානය වෙනුවෙන් ඔස්ට්‍රේලියාව විසින් 780ක පමණ හමුදා භට පිරිසක් යොදවනු ලැබ තිබිණි.

"සටන් භූමිය තුළ ඉරාකය ළඟාකරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සලකා බලනවිට ඔස්ට්‍රේලියාවේ දායකත්වය දැන් තිබෙන්නේ සංක්‍රාන්ති අවධියකයි" ආරක්ෂක ඇමතිනිය කියා සිටියාය.

සබැඳි යොමු :

"ඉරාකය වගේම ජාත්‍යන්තර සන්ධානයේ සාමාජිකයින් එක්ක කළ කතාබහෙන් අනතුරුව, මැද පෙරදිග ඇති අපේ සුපර් හෝර්නට් යානා හයක් අපි නැවත ගෙන්වා ගන්නවා" යැයි කී ඇය, අදාළ හමුදා මෙහෙයුම් දීර්ඝ වුවක් මෙන්ම "කුරිරු" වුවක් බව සඳහන් කළ අතරම සිය සේවය ලබාදුන් ඔස්ට්‍රේලියානු හමුදාවන්ට ස්තුතිය පළ කළාය.

දෙසතියකට පෙර බැග්ඩෑඩ් අගනුවරදී මාධ්‍ය හමුවක් ඇමතු ඉරාක අගමැති හයිදර් අල්-අබාඩි, ඉරාක - සිරියානු දේශසීමාවේ සම්පුර්ණ පාලනය ඉරාක හමුදා සතුව ඇති බව සඳහන් කළේය.

අයිඑස් සංවිධානයේ පාලනය ගිලිහීම ඇමෙරිකාවේ ඇගයීමට ලක්වුවද එරට කියා සිටියේ අයිඑස් සංවිධානයට එරෙහි සටන් තවදුරත් ක්‍රියාත්මකවන බවය.