ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය: සෑම තෙදිනකටම වරක් කාන්තාවක මරා දමන රටක්

One woman was killed by a spouse on average every three days last year, Mr Macron said

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වෙන කාන්තාවක සෑම තෙදිනකටම වරක් මරුමුවට පත්වීම පිළිබඳව ප්‍රංශය ලැජ්ජාවට පත්විය යුතු යයි ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් පවසයි.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය සැමරීමේ උත්සවයකදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා, සිය රටේ කාන්තාවන් මුහුණ දෙමින් සිටින ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් මුනිවත රැකීමේ පිළිවෙතට නැවතීමේ තිත තැබීමේ අවස්ථාව එළැඹි ඇතැයි සඳහන් කළේය.

සිය පස් අවුරුදු ධුර කාලය ඇතුළත රට තුළ ලිංගික සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ එක් මැතිවරණ ප්‍රතිඥාවකි.

මැතිවරණය සමයේ ප්‍රංශ ජනතාවගේ ප්‍රධානම අවධානය පළ වී තිබුණු ප්‍රශ්නය එය බව ඔහු නායකත්වය දුන් En Marche ව්‍යාපාරය විසින් පවත්වනු ලැබූ සමීක්ෂණයකදී හෙළි වී තිබුණි.

කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය සැමරීම පිණිස ප්‍රංශය පුරාම උද්ඝෝෂණ පැවැත්වෙමින් තිබිණ.

Mr Macron held a minute's silence for the women who died of domestic violence last year

ඡායාරූප මූලාශ්‍රය, AFP

"හිංසා කරන, අපහාස කරන, ස්පර්ශ කරන අපරාධකරුවන්ට කිසි විටෙක සමාව නොලැබීම සහ ඒ වෙනුවට ඔවුන් හඳුනාගෙන, ඔවුන් අපකීර්තියට පත්කොට, යුක්තිය පසිඳලා ඔවුන් හෙළා දැකීම අත්‍යවශ්‍ය කරුණක්," ජනාධිපතිවරයා කියා සිටියේය.

"එමෙන්ම ප්‍රංශය තවදුරටත් කාන්තාවන් බියෙන් දිවි ගෙවන රටක් නොවිය යුතුය."

සබැඳි යොමු:

2016 වසරේදී සිය සහකරු හෝ පැරණි සහකරු විසින් මරා දමන ලද කාන්තාවන් 123 දෙනා සමරමින් ඔහුගේ දේශනය අතරවාරයේ විනාඩියක නිශ්ශබ්දතාවක් ද පවත්වන ලදි.

ඒ වසර තුළ 225,000 කට ආසන්න කාන්තාවන් ඔවුන්ගේ සහකරුවන් විසින් ලිංගික හෝ ශාරීරික හිංසනයට ලක් කරන ලද නමුත් ඒ පිළිබඳව පැමිණිලි කර තිබෙන්නේ එයින් පහෙන් එකකට ආසන්න පිරිසකි.

ප්‍රචණ්ඩත්වයට, හිංසනයට හෝ නොසලකා හැරීමට ගොදුරුවන කාන්තාවන් වෙනුවෙන් 24 පැය පුරාම ක්‍රියාත්මක වන අන්තර්ජාල ආධාර සේවයක් ඇතුළු පියවර ගණනාවක්ම උත්සවය අතරවාරයේ ජනාධිපති මැක්‍රෝන් නිවේදනය කළේය.

ලිංගික හිංසනය ප්‍රධාන තේමාව කරගනිමින් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය සැමරීමේ වැඩසටහන් ලොව පුරා බොහෝ රටවල දින 16 ක් මුළුල්ලේ ක්‍රියාත්මක වේ.

වීඩියෝ ශීර්ෂ වැකිය, ලිංගික හිංසනය: "අහක බලන්න එපා. ඔබත් මැදිහත් වෙන්න"