චීන ඇමෙරිකානු වෙළෙඳ හබය යළිත් කරළියට

ට්‍රම්ප් සහ ෂි ජින්පින් බේජිං නගරයේ දී හමු වූ මොහොතේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ට්‍රම්ප් සහ ෂි ජින්පින් බේජිං නගරයේ දී හමු වූ මොහොතේ

වියට්නාමයේ 'ඩා නැන්ග්' (Da Nang) නගරයේ දී ආරම්භ වූ ආසියා-ශාන්තිකර කලාපීය ආර්ථික සහයෝගිතා සමුළුව (Apec) අමතමින් ඇමෙරිකානු සහ චීන නායකයන් දැඩි පරස්පර විරෝධී අදහස් ඉදිරිපත් කරනු ලැබීම සම්බන්ධයෙන් ලෝකයේ අවධානය යොමු වෙමින් ඇත.

ව්‍යාපාරික සහ දේශපාලන නායකයන් රැසක් සහභාගී වෙමින් සිටින වියට්නාම් සමුළුව අමතා කතා කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකා එක්සත් ජනපදය අනාගත ජාත්‍යන්තර වෙළෙඳාමේ දී අයථා වාසියක් නොලබනු ඇතැයි කියා සිටියේය.

රටවල් විසි එකක එකතුවක් වන ආසියා-ශාන්තිකර කලාපීය ආර්ථික සහයෝගිතා සංවිධානයට (Apec) අයත් රටවල් ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 60% ක් නියෝජනය කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වූ සැණින් ඔහුගේ "ඇමෙරිකාව ප්‍රමුඛ" කර ගත් න්‍යාය පත්‍රය (America First) පෙරට තැබූ අතර ආසියා-ශාන්තිකර සහයෝගීතා සංවිධානයේ රටවල් දොළහක් සමඟ පැවති ප්‍රධාන වෙළෙඳ ගිවිසුමක් අත්හිටුවීමට පියවර ගත්තේය.

ඔහු එවැනි පියවරක් ගන්නා ලද්දේ එම ගිවිසුම ඇමෙරිකානු ආර්ථික අභිලාෂයන්ට හානිකර යයි පවසමිනි.

සිකුරාදා (නොවැම්බර් 10) සමුළුව අමතමින් තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තමා හැමවිටම ඇමෙරිකානු අභිලාෂයන්ට මුල්තැන දෙන අතර ජාත්‍යන්තර වෙළෙඳාමේ දී අන්‍යොන්‍ය මට්ටමින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදය අද ලෝකයේ නිදන්ගත මට්ටමින් මුල්බැස ගත් වෙළෙඳ අවභාවිතය තවදුරටත් නොඉවසන බව කියා සිටි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ආසියා -ශාන්තිකර ජාතීන් සාධාරණ අන්‍යොන්‍ය වෙළෙඳ පිළිවෙතක් අනුව බැඳී සිටිය යුතු බවත් අවධාරණය කළේය.

ජනාධිපති ට්‍රම්ප් ගේ කතාවෙන් මිනිත්තු කීපයකට පසු ආසියා-ශාන්තිකර කලාපීය ආර්ථික සහයෝගිතා සමුළුව (Apec) ඇමතූ චීන ජනාධිපති ෂි ජින් පින් "නිදහස් වෙළෙඳ ලෝකයේ චීනය ප්‍රමුඛ ස්ථානයට පත් කෙරුණ ගෝලීයකරණය ආපසු හැරවිය නොහැකි ආර්ථික ක්‍රියාදාමයක්" වන බව පෙන්වා දුන්නේය.

"ගෝලීයකරණය ආපසු හැරවිය නොහැකි ඓතිහාසික ප්‍රවණතාවක්. එහෙත් නිදහස් වෙළෙඳාමට පාදක වෙන දර්ශනය වඩාත් විවෘත, වඩාත් සමතුලිත සේම වඩාත් සමාන සහ සියලු දෙනාට ප්‍රතිලාභ සහිත ක්‍රියාවලියක් හැටියට නැවත අර්ථ ගැන්විය යුතුව තිබෙනවා" ජනාධිපති ෂි ජින්පින් කියා සිටියේය.

ජනාධිපති ෂි ජින්පින් චීනය ලෝක ආර්ථිකයේ ප්‍රමුඛස්ථානය කරා මෙහෙයවමින් සිටියි

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති ෂි ජින්පින් චීනය ලෝක ආර්ථිකයේ ප්‍රමුඛස්ථානය කරා මෙහෙයවමින් සිටියි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ මතයට වෙනස් මඟක් ගත් චීන නායකයා, දුප්පත් ජාතීන්ට වාසි සැලසෙන බව පවසමින් බහු පාර්ශ්වීය වෙළෙඳ ගිවිසුම් යුක්ති සහගත කිරීමක් ද කරයි.

"ජාත්‍යන්තර වෙළෙඳාම සහ ආයෝජන මගින් සංවර්ධනය වෙන රටවලට ප්‍රතිලාභ ලැබීමට මඟ සැලසීම සඳහා බහු පාර්ශ්වීය වෙළෙඳ පාලනයට සහ විවෘත මට්ටමේ කලාපීයවාදයට

අපි ආධාර කළ යුතුව තිබෙනවා" චීන නායකයා වැඩි දුරටත් පවසයි.

වෙළෙඳපොළට පිවිසීමේ දී බල පැවැත්වෙන තහංචි විශාල මට්ටමින් ළිහිල් කිරීමට චීනය කටයුතු කරනු ඇතැයි සඳහන් කළ ජනාධිපති ෂි ජින් පින්, තම රට තුළ සියලු විදේශීය ව්‍යාපාර වලට සමාන මට්ටමින් සලකන බවත් පවසයි.

එසේම ආසියා-ශාන්තිකර කලාපයෙහි බහු පාර්ශ්වීයභාවය (multilateralism) තහවුරු කළ යුතුව ඇති බවත් චීන නායකයා සමුළුව හමුවේ සඳහන් කළේය.

Apec සමුළුව අමතන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, Apec සමුළුව අමතන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

'ඩා නැන්ග්' (Da Nang) සමුළුවේ දී චීනය දෝෂ දර්ශනයට ලක් කෙරෙන මට්ටමින් අදහස් දැක්වුවත් වියට්නාමයට ළඟාවීමට පෙර බේජිං නගරයට ගිය ජනාධිපති ට්‍රම්ප් එහිදී චීනයේ විදේශ වෙළෙඳ කටයුතු විවේචනය කිරීමෙන් වැළකුණි.

"මම චීනයට දොස් පවරන්නේ නැහැ. එක අතකට රටක් තමන්ගේ පුරවැසියන්ගේ ශුභ සිද්ධිය වෙනුවෙන් තවත් රටකින් වාසි ලබා ගැනීම ගැන කාටවත් දොස් කියන්න බැහැ. මම චීනය ඉතා පැසසුමට ලක් කරනවා" ජනාධිපති ට්‍රම්ප් ව්‍යාපාරික ලෝකයේ චීන දැවැන්තයින් අමතා ප්‍රකාශ කළේය.

එහෙත් ඇමරිකානු ජනාධිපතිවරණ සමයේ චීනයේ විදේශීය වෙළෙඳ සම්බන්ධතා දැඩි ලෙස විවේචනය කළ ජනාධිපති ට්‍රම්ප්, ඇමරිකාවේ රැකියා සොරා ගන්නා බවටත්, විදේශ මුදල් අවභාවිත කරන බවටත් චීනයට චෝදනා කර තිබුණි.

සමුළුව ඇමතූ චීන ජනාධිපතිවරයා ගෝලීයකරණය යුක්ති සහගත කළේය

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සමුළුව ඇමතූ චීන ජනාධිපතිවරයා ගෝලීයකරණය යුක්ති සහගත කළේය

දෙරට සඳහා 'හිතකර සහ සමබර' ආර්ථික සහ වෙළෙඳ සබඳතා ගොඩනැගීමට චීන ජනාධිපති ෂි ජින්පින්ග් පොරොන්දු වී ඇති අතර "ද්විපාර්ශ්වීය මට්ටමින් කටයුතු කිරීම මගින් වඩාත් යහපත් අනාගතයක්" කරා ගමන් ගැනීමට හැකි වනු ඇතැයි ඔහු සඳහන් කර ඇත.

සබැඳි පුවත්;