හිටපු අගමැති නවාස් ෂරීෆ් අත්අඩංගුවට ගැනීමේ අධිකරණ නියෝගයක්

හිටපු අගමැති නවාස් ෂරීෆ් අත්අඩංගුවට ගන්නා මෙන් පකිස්තාන් උසාවියක් විසින් වරෙන්තු නිකුත් කරනු ලැබ ඇත.

එම නියෝගය නිකුත් කරනු ලැබ තිබෙන්නේ ඔහුට එරෙහි දූෂණ නඩු දෙකක් සම්බන්ධයෙනි.

එහෙත් එම වරෙන්තු "ඇප ලබා ගත හැකි මට්ටමේ" ඒවා බව හිටපු අගමැතිවරයාගේ නීතිවේදියෝ පෙන්වා දෙති.

නීතිවේදීන්ගේ එම විග්‍රහය අනුව ඔවුන්ගේ සේවාදායකයා වන හිටපු අගමැති නවාස් ෂරීෆ් ඇප අයදුම් පතක් ඉදිරිපත් කළොත් ඔහුට අත් අඩංගුවට පත් වීමෙන් වැළකිය හැකි වෙයි.

ලන්ඩන් නගරයේ ඔවුන්ගේ අයිතිය සහිත දේපොළක් මුල්කර ගනිමින් හිටපු අගමැතිවරයාගේ දියණිය වන මාරියම් නවාෂ් (Maryam Nawaz) සහ බෑණනුවන් වන මොහොමඩ් සෆ්දාර්ට (Mohammad Safdar) එරෙහිවත් දූෂණ අපචාර චෝදනා යටතේ නඩු පවරා ඇත.

එහෙත් තමන් කිසිදු වරදක් සිදු කර නොමැති බව ඔවුහු තිදෙනාම කියා සිටිති.

සිය දරුවන් නීත්‍යානුකූල ලෙසින් ලන්ඩන් නුවර නිවාස මිලදී ගෙන තිබෙන බව පවසන නවාස් ෂරීෆ්, ඒ කිසිවක් තමන්ට අයත් දේපොළ නොවන බව ද අවධාරණය කරයි.

සිය වත්කම් හෙළිදරව් කිරීමට අගමැති ෂරීෆ් පියවර නොගැනීම සැලකිල්ලට ගත් පකිස්තාන් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහු අගමැති පදවියට නොසුදුසු යයි තීන්දු කළ අතර ඒ අනුව පසුගිය ජූලි මාසයේ ඔහුට පදවියෙන් ඉවත් වීමට සිදු විය.

පැනමා ලිපිගොනු වලින් අනාවරණය වූ කරුණු තුළත් නවාස් ෂරීෆ් පවුලේ නම ඇතුළත් විය.

නවාස් ෂරීෆ් මේවනවිට සෞදි අරාබියේ සිටින බව වාර්තා වෙයි.

සබැඳි පුවත්;