'චේ' සමරුව නිමිත්තෙන් බොලීවියාවේ අර්බුදයක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
'චේ ගෙවාරා' පනස් වැනි මරණ සංවත්සරය මුල්කර ගනිමින් බොලීවියානු ආණ්ඩුව සහ විශ්‍රාමික යුද හමුදා නායකයන් අතර ආරවුලක් මතුව ඇත.
ආර්ජන්ටිනාවේ දී උපත ලද අර්නස්ටෝ චේ ගෙවාරා(Ernesto "Che" Guevara) කියුබානු විප්ලවය ජය ගැනීමට දායකවීමෙන් අනතුරුව බොලීවියාවේ විප්ලවීය සටනට සහභාගී වෙමින් සිටියදී එරට හමුදා විසින් මරා දමනු ලැබුණි.
විදේශීය ආරාධිත අමුත්තන්ගේ ද සහභාගිත්වය ඇතිව සමරු වැඩසටහන් මාලාවකින් 'චේ' අනුස්මරණය කිරීම බොලීවියානු ආණ්ඩුවේ සැලැස්මයි.
මරා දැමුණ විප්ලවීය නායකයාගේ පනස් වෙනි මරණ සංවත්සරය ලබන සතියට යෙදී ඇත.
එහෙත් එම නිල සමරු උත්සව වලට තමන් සහභාගී නොවන බව 'චේ' නායකත්වය දුන් විප්ලවීය හමුදාවන්ට එරෙහිව සටන් වැදුන බොලීවියානු විශ්‍රාමික යුද නායකයෝ පවසති.
'චේ' සඳහා නොව ඔහු සමඟ සිදු කළ සටන්වල දී මරණයට පත් බොලීවියානු ජාතිකයන් වෙනුවෙන් ප්‍රණාමය පුද කිරීම සිය අභිලාෂය බව එම යුද නායකයන් විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත.
එහෙත් එම යුද නායකයන් 'චේ' සමරු උත්සව වලට සහභාගී වනු ඇතැයි බලාපොරොත්තු වෙන බව බොලීවියානු ආණ්ඩුවේ නිලධාරීහු පවසති.

ඡායාරූප මූලාශ්‍රය, Alamy
කියුබානු විප්ලවයේ ඉතාම වැදගත් න්‍යායවාදියකු අර්නස්ටෝ චේ ගෙවාරා, ෆිදෙල් කස්ත්‍රෝ සමඟ උරෙනුර ගැටෙමින් සටන් වැදුණ අතර එම විප්ලවය ජයග්‍රහණය කිරීමන් අනතුරුව පිහිටුවන ලද ළදරු විප්ලවීය ආණ්ඩුව විසින් පිරිනමන ලද ඇමති පදවියත් අත්හැර බොලීවියාවේ විප්ලවයට සහභාගී වෙමින් සිටියේය.
1967 ඔක්තෝබර් අටවෙනිදා 'චේ' බොලීවියානු ආණ්ඩුවේ හමුදාවට හසු වූ අතර ඊ ළඟ දිනයේ ඔහු මරා දමනු ලැබ තිබුණි.
කියුබාවෙන් පිටව ගිය 'චේ'ගේ ඉලක්කය වුණේ සෙසු ලතින් ඇමෙරිකානු රටවලත් ගරිල්ලා ව්‍යාපාර සංවිධානය කිරීමයි.
බොලීවියානු මාධ්‍ය වාර්තා කරන පරිදි මාරියෝ මොරෙයිරා (Mario Moreira) නම් විශ්‍රාමික යුද සෙබලෙක් මෙසේ ප්‍රකාශ කර ඇත.
"අපි 'චේ' අනුස්මරණ වැඩ සටහන් වලට සහභාගී වෙන්නේ නැහැ. මොකද? අපි හිතනවා - ඒවා අනුස්මරණ උත්සව නොව දේශපාලන වැඩ සටහන් විශේෂයක් කියල. අනිත් අතින් කියුබානු ගරිල්ලන්ට ඇයිඅපි උපහාර දක්වන්නේ?"
මාරියෝ මොරෙයිරා (Mario Moreira) තවදුරටත් මෙසේ ප්‍රකාශ කර ඇත.
"අපි එදා රට ආරක්ෂා කළා. හමුදා සොල්දාදුවන් පනස් නව දෙනෙක් (59) ජීවිත පරිත්‍යාග කළා. මහජනතාව නියෝජනය කරන බොලීවියානු රාජ්‍යය උපහාර දැක්විය යුත්තේ අපටයි"
1966-67 කාල සීමාව තුළ හතළිස් හත් දෙනකුගෙන් සමන්විත වූ කුඩා ගරිල්ලා හමුදාවත් සමඟ දරුණු ගැටුමක නිරත වෙමින් සිටි 'චේ' එවකට බොලීවියානු හමුදාව විසින් 1967 ඔක්තෝබර් අටවෙනිදා අල්ලා ගනු ලැබ ඔක්තෝබර් 09 වෙනිදා මරා දමා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
බොලීවියානු ආරක්ෂක ඇමති රෙයිමි පෙරෙයිරා (Reymi Ferreira ) විසින් 'චේ' සමරු වැඩ සටහන් බොලීවියාව සහ කියුබාව අතර පැවති මත ගැටුම සමනය කර ගැනීමේ ("healing wounds" ) ක්‍රියාමාර්ගයක් හැටියට විග්‍රහ කරනු ලැබ ඇතත්, එම අදහස භාර ගැනීමට විශ්‍රාමික යුද නායකයන් සූදානම් නැත.
"බොලීවියානු වැසියන්ට දුක සහ වේදනාව අත් කර දුන් විදේශිකයකුට" උපහාර දැක්වීමට හැකියාවක් නැති බව මාරියෝ මොරෙයිරා (Mario Moreira) කියා සිටියි.
"චේ ගවේරා දිනුවා නම් අද අපේ රට වෙනස් රටක්. අපට පිං සිද්ද වෙන්න අද අපට නීතියෙන් ව්‍යවස්ථාපිත ආණ්ඩු තියෙනවා" මාරියෝ මොරෙයිරා (Mario Moreira) පවසයි.
එසේම 'චේ' සමඟ සටන් වැදී මරණයට පත් සිය හමුදා සගයන් වෙනුවෙන් සංවිධානය කෙරෙන වෙනත් සමරු වැඩ සටහනකට ඔවුන් එක් වෙන බවත් ඔහු කියා සිටියි.
අද බොලීවියාවේ බලයේ සිටින්නේ ජනාධිපති ඊවෝ මොරාලෙස් (Evo Morales ) නායකත්වය දෙන වාමාංශික ආණ්ඩුවකි.
එම නව බොලීවියානු ආණ්ඩුව කියුබාවත් සමඟ ඉතා කිට්ටු දේශපාලන සහ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වන පවත්වයි.









