ලාස් වේගස් ප්‍රහාරය: මෙතෙක් හෙළි වී ඇති කරුණු

ලාස් වේගස්

ඇමරිකාවේ ලාස් වේගස් නුවර සංගීත ප්‍රසංගයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත් සංඛ්‍යාව 50 ඉක්මවා ඇත.

තුවාල ලද තවත් 406 දෙනෙකු රෝහල් ගත කරනු ලැබ තිබේ.

සිදු වූයේ කුමක්ද?

ලාස් වේගස් නුවර ඉරිදා (ඔක් 01) රාත්‍රියේ පැවති එළිමහන් සංගීත ප්‍රසංගයක් සඳහා විසි දෙදහසකට ආසන්න සංගීත ලෝලීන් පිරිසක් සහභාගී වී සිටියහ.

ප්‍රාදේශීය වේලාවෙන් රාත්‍රී 10.00 (ග්‍රිනිච් මධ්‍යහන වේලාවෙන් උදෑසන 05.00) පසු වී මද වෙලාවකින් පළමු වෙඩි ප්‍රහාරය එල්ල විය.

තමන්ටම වෙඩි තබා ගැනීමට පෙර ප්‍රහාරකයා 'මැන්ඩලේ බේ' හෝටලයේ 32 වෙනි මහලේ සිට ප්‍රසංගයට එක්ව සිටි පිරිස වෙත වෙඩි තබා තිබේ. මීට පෙර පළ වූ වාර්තා මගින් පැවසුණේ තුවක්කුකරු පොලිස් වෙඩි පහරින් මරණයට පත් වූ බවය.

ප්‍රහාරකයා විසින් වෙඩි පහර සිය ගණනක් එල්ල කරන ලද බව පවසන ඇසින් දුටුවෝ, ස්වයංක්‍රිය ගිනි අවියකට සමාන හඬක් ඇසුණු බව කියා සිටිති.

නරඹන්නන් ආවරණය වීමට තැනක් සෙවීමට උත්සාහ කිරීමත් ප්‍රසංගය පැවති භූමියෙන් පිටතට දිව යාමත් හේතුවෙන් එහි කලබලකාරී තත්ත්වයක් හට ගැනිණි.

වීඩියෝ ශීර්ෂ වැකිය, ලාස් වේගස් වෙඩි තැබීම: පනහකට අධික පිරිසක් මරුට

ප්‍රසංගය පැවති ස්ථානය අවට තවත් වෙඩි තැබීම් සිදුව ඇතැයි පළ වන වාර්තා අසත්‍ය බව පොලිසිය පවසයි.

ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා හැට හතර හැවිරිදි ස්ටීවන් පැඩොක් නමැත්තකු බව හඳුනා ගෙන තිබේ.

ඔහුගේ කාමරය තුළ තිබී තවත් රයිෆල් ගිනි අවි 10 සොයා ගත් බව පොලිස් නිලධාරි ජෝ ලැම්බාඩෝ පැවසීය.

ප්‍රහාරකයාගේ සහෝදරයා වන එරික් පැඩොක් රොයිටර් පුවත් සේවය වෙත අදහස් දක්වමින් " මෙහෙම දෙයක් කළේ ඇයි කියලා අපිට හිතා ගන්න බැහැ. අපි බියට පත් වෙලා ඉන්නේ. ප්‍රහාරයට ලක් වූවන් වෙත අපේ ශෝකය පළ කරනවා" යනුවෙන් සඳහන් කර තිබිණි.

ස්ටීවන් පැඩොක්

ඡායාරූප මූලාශ්‍රය, Undated image

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්ටීවන් පැඩොක්

තමන් විසින් ප්‍රහාරය එල්ල කරන ලද බව ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය පැවසූ නමුත් ඔවුන් ඒ සඳහා සාක්ෂි කිසිවක් ඉදිරිපත් කර නොතිබිණි.

"ලාස් වේගස් ප්‍රහාරකයා මීට මාස කිහිපයකට කලින් ඉස්ලාම් දහම වැළඳ ගෙන තිබේ" යනුවෙන් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

line
ඇමරිකාවේ වෙඩි තැබීම්
line

මරණයට පත් සංඛ්‍යාව කොපමණද?

පොලිස් වාර්තාවලට අනුව අවම වශයෙන් පනස් දෙනෙකුවත් මරණයට පත්ව ඇත. තුවාල ලැබූ තවත් 406 දෙනෙකු රෝහල් ගත කරනු ලැබ තිබේ.

දාහතර දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසු වන බව විශ්වාස කෙරෙන්නේ යයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

සබැඳි යොමු: