පෞද්ගලිකත්වය මූලික අයිතියක්-ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය

ජෛවමිතික අනන්‍යතා පිරික්සුමක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ජෛවමිතික අනන්‍යතා පිරික්සුමක්

ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් එක් එක් පුරවැසියන් සතු 'පෞද්ලිකත්වය' මූලික මිනිස් අයිතිවාසිකමක් වන බව තීන්දු කළේය.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ ඉන්දියාව දැනට ක්‍රියාත්මක කරමින් පවතින පුරවැසි ජෛවමිතික අන්තර්ගත කෙරෙන හැඳුනුම් පත් ව්‍යාපෘතියට අදාළවයි.

'ආධාර්' යනුවෙන් නම් කරනු ලැබ ඇති එම ජෛවමිතික හැඳුනුම්පත් ව්‍යාපෘතියට සමස්ත ඉන්දියාවේ අතිබහුතර ප්‍රජාව දැනටමත් ඇතුළත්ව සිටිති.

'ආධාර්' අනන්‍යතා සහතික ක්‍රමය ස්වේච්ඡා වැඩ පිළිවෙලක් හැටියට හඳුන්වා දෙනු ලැබුනත්, ශුභ සාධන පහසුකම් අයැදීම,බදු මුදල් ආපසු ලබා ගැනීම සහ බැංකු ගිණුමක් විවෘත කර ගැනීම වැනි අවශ්‍යතාවන්හිදී එම හැඳුනුම් පත් ක්‍රමය මගින් පුද්ගල අනන්‍යතාව සහතික කිරීම අනිවාර්ය කරනු ලැබ ඇත.

එවැනි ජෛවමිතික අනන්‍යතා සහතික ක්‍රමයක් මගින් සමාජය තුළ සිදු කෙරෙන වංචා අඩු කර ගැනීමට හැකි බව ඉන්දියානු ආණ්ඩුව පවසයි.

එහෙත් එය දෝෂ දර්ශනයට ලක් කරන සංවිධාන මහජනයාගේ සියලු පෞද්ගලික ජෛවමිතික තොරතුරු අනුන් අතට පත්ව ඒවා අපචාර සඳහා යොදා ගැනීමට ඉඩකඩ ඇති බව පවසමින් එම ව්‍යාපෘතියේ නීත්‍යනුකූලභාවය ප්‍රශ්න කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කළහ.

ජෛවමිතික අනන්‍යතා පිරික්සුමේ හොඳ මෙන්ම අහිතකර පැත්තක් ද වෙයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, ජෛවමිතික අනන්‍යතා පිරික්සුමේ හොඳ මෙන්ම අහිතකර පැත්තක් ද වෙයි.

අදාළ පෙත්සම විභාග කළ නව දෙනකුගෙන් සැදුම් ලත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ පූර්ණ විනිශ්චය මණ්ඩලය 'පෞද්ගලිකත්වය' මූලික අයිතිවාසිකමක් නොවන බවට කලින් දී තිබුණ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් බල රහිත කරමින් "පෞද්ගලිකත්වය ජීවිතය සහ නිදහස සුරක්ෂිත කෙරෙන 21 වගන්තියේ නෛසර්ගික කොටසක් වන බව" තීන්දු කළේය.

'පෞද්ගලිකත්වය' මූලික අයිතිවාසිකමක් නොවන බව කලින් තීන්දු කරනු ලැබ තිබුණේ 1954 වසරේ අට පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන්ගේ මණ්ඩලයක් විසිනි.

එබැවින් මෙවර විභාගය සඳහා නව දෙනකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ පූර්ණ විනිශ්චය මණ්ඩලයක් අසුන් ගැනීම ඓතිහාසික අවශ්‍යතාවයක් විය.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඉන්දීය ආණ්ඩුවේ මහා පරාජයක් වෙයි.

ආණ්ඩුවේ තර්කය වන්නේ "පෞද්ගලිකත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කරනු ලැබ ඇති අහිමි කළ නොහැකි මූලික අයිතිවාසිකම් ගණයට ඇතුළත් නොවන්නේය" යන්නයි.

ආධාර් අනන්‍යතා ව්‍යාපෘතියට පුද්ගල ජෛවමිතික ලබා ගනිමින්

ඡායාරූප මූලාශ්‍රය, MANSI THAPLIYAL

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ආධාර්' අනන්‍යතා ව්‍යාපෘතියට පුද්ගල ජෛවමිතික ලබා ගනිමින්

මෙම විභාගයේදී ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීහු පුරවැසියන්ට ඔවුන්ගේ ශරීරය සම්බන්ධයෙන් පරම අයිතියක් නොමැති බැවින් ඔවුන්ගේ ජෛවමිතික තොරතුරු ඉදිරිපත් කරන මෙන් බල කිරීමට සිදුවිය හැකි බවට තර්ක කළහ.

එහෙත් එම තර්කය නිශේධ කරමින් ඉන්දියාවේ උපරිමාධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද බ්‍රහස්පතින්දා (අගෝස්තු 24) දෙන ලද ඓතිහාසික තීන්දුව මගින් සිය ශරීරයේ සහ මනසේ හිමිකාරත්වය පුරවැසියා සතු අයිතිවාසිකමක් බව පිළිගැනීම නිසා රටේ පුරවැසියන්ට දැන් නිදහසේ හුස්ම ගත හැකිව ඇතැයි එක් නීති විශාරදයෙක් ප්‍රකාශ කළේය.

ඇසේ කාචය ද සටහන් කර ගනියි

ඡායාරූප මූලාශ්‍රය, MANSI THAPLIAL

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇසේ කාචය ද සටහන් කර ගනියි