"රජ්ජුරුවන්ගේ චරිත කතාව කිව්වට වසර දෙක හමාරයි"

ඡායාරූප මූලාශ්‍රය, EPA
තායිලන්තයේ මහා වචිරලොන්ගොන්(MahaVajiralongkorn )රජතුමාගේ සංක්ෂිප්ත චරිතය ඇතුළත් කරමින් බීබීසී තායි අංශය මගින් අන්තර්ජාලයේ පළ කරන ලද ලේඛනයක් ෆේස්බුක් පිටුවට එක් කරමින් සෙසු ග්‍රාහකයන් සමඟ හුවමාරු කර ගත් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් වසර දෙක හමාරක සිර දඬුවමකට යටත් කරනු ලැබ ඇත.
රජතුමාගේ සංක්ෂිප්ත චරිත සංග්‍රහය අන්තර්ජාලයේ හුවමාරු කර ගැනීම මගින් 'රාජ්‍යත්වයට අවමන් කිරීමේ' චෝදනා යටතේ ජටුපට් බූන්පට්ටරාරග්ස (Jatupat Boonpattararaksa ) නම් එම ශිෂ්‍ය ක්‍රියාකාරිකයාට එරෙහිව නඩු පවරනු ලැබ තිබුණි.
සිය පිය රජතුමා වූ පූමිපොන් අදුන්යඩේජ් (King Bhumibol Adulyadej) රජතුමාගේ අවෑමෙන් 2016 වසරේ මහා වචිරලොන්ගොන්(Vajiralongkorn ) කුමරු රජ පදවියට පත් වූ අතර බීබීසී තායි සේවය එම වසරේ දෙසැම්බර් මස පළමුවෙනිදා අභිනව රජතුමාගේ සංක්ෂිප්ත චරිතය සිය වෙබ් අඩවියේ පළ කරනු ලැබුණි.
එම සංක්ෂිප්ත චරිත සටහන 2600 ට අධික ෆේස්බුක් ග්‍රාහකයන් විසින් හුවමාරු කර ගෙන ඇති අතර, ජටුපට් බූන්පට්ටරාරග්ස(Jatupat Boonpattararaksa )ශිෂ්‍යයා ඔවුන් අතරින් එක් අයකු පමණි.
එසේම එම පුද්ගලයන් අතරින් නඩු පවරනු ලැබ ඇති එකම පුද්ගලයාත් ඔහු වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
තායිලන්ත නීතිය අනුව රජතුමා විවේචනය කරනු ලැබීම බරපතළ දඬුවම් ලැබිය හැකි වරදකි.
ජටුපට් බූන්පට්ටරාරග්ස ශිෂ්‍යයා යුද හමුදාවේ සහයෝගය ලබන තායිලන්ත ආණ්ඩුවට එරෙහි ක්‍රියාකාරිකයෙකි.
ඔහු තායි හමුදා පාලනයට එරෙහිව දියත් කෙරුණ විරෝධතා ව්‍යාපාර රැසකට හවුල් වී ඇත.
2016 දෙසැම්බර් මාසයේ අත්අඩංගුවට ගනු ලැබුණ ජටුපට් බූන්පට්ටරාරග්ස ඊශාන දිග තායිලන්තයේ රඳවනු ලැබ සිටියේය.
රජතුමාට අවමන් කිරීම සම්බන්ධයෙන් තමාට එරෙහිව ඉදිරිපත් කෙරුණ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඊට අභියෝග කළ ශිෂ්‍ය ක්‍රියාකාරිකයා අඟහරුවාදා (අගෝස්තු 15) සිය තීරණය වෙනස් කරමින් චෝදනා වලට වරද පිළිගත්තේය.
චෝදනාවලට නිවැරදිකරු යයි පවසමින් අධිකරණ ක්‍රියාමාර්ගය තුළ රැඳී සිටින අතරවාරයේ ඔහු එම චෝදනාවලට වැරදිකරු කෙරුනොත් වසර පහළොවක සිර දඬුවමකට යටත් කරනු ලැබීමේ අනතුරක් පැවතුණි.
රජතුමාට අවමන් කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණ වෙනත් තැනැත්තෙක් පසුගිය ජුනි මාසයේ වසර 35 ක සිර දඬුවමකට යටත් කරනු ලැබුණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තායිලන්ත රජතුමාට අවමන් කිරීම සම්බන්ධයෙන් නියම කෙරෙන දැඩි දඬුවම් දෝෂ දර්ශනයට ලක් කරන මානව හිමිකම් සංවිධාන අතරට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ව ඇත.
එසේම එවැනි නඩු විභාග ප්‍රසිද්ධියේ නොපැවැත්වීමත් විවේචනයට ලක් වෙයි.
2017 වසරේ මුල් භාගයේ ප්‍රකාශයක් නිකුත් කළ මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ කාර්යාලය, අදාළ නීති සංශෝධනය කරන මෙන් තායිලන්තයෙන් ඉල්ලීමක් කළේය.
2014 වසරේ යුද හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව රජතුමාට අවමන් කළේයැයි පවසමින් පුද්ගලයන් සිය දෙනකුට අධික පිරිසකට නඩු පවරනු ලැබ ඇත.










