නිරූපිකාවෝ : සිරුරේ ප්‍රමාණය, හැඩය හා සෞඛ්‍යය ගැන මතවාදයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෝස්‌තර නිරූපණ සඳහා විශාල සිරුරින් යුතු නිරූපිකාවන් එක්කිරීමෙන් ස්ථුලතාව උත්කර්ෂවත්ව ඇගයෙන්නේද යන්න පිළිබඳව ඔස්ට්‍රේලියාව තුළ මතවාදයක් ගොඩනැගෙමින් පවතී.
මෑතදී පැවති Sports Illustrated නාන ඇඳුම් විලාසිතා දැක්මට අධි ප්‍රමාණ (plus-size) සිරුරුවලින් යුතු නිරූපිකාවන්ද පෙනී සිටීමෙන් අනතුරුවය.
මේ පිළිබඳ ලිපියක් පළකළ සිඩ්නි ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත, මෙවැනි පියවර සෞඛ්‍යය සම්බන්ධයෙන් "අනතුරුදායක" පණිවිඩයක් පතුරුවාහරින බවට වෛද්‍ය විශේෂඥයින් පවසද්දී මෙසේ විශාල ප්‍රමාණයේ සිරුරු ඇති නිරූපිකාවන් යොදාගැනීම "වගකීම් විරහිත" බව පෙන්වා දී ඇත.
කෙසේවෙතත්, අනෙකුත් විශේෂඥයින්ගේ මතය වී ඇත්තේ විලාසිතා දැක්මකදී සියලු හැඩයේ සිරුරු නියෝජනය විය යුතු බවය.
මේ මතවාදය ඉස්මතුවීමට තුඩුදුන්නේ තීරු ලිපි රචිකාවකවන සොරයියා ෆුඩා ලියු ලිපියකි. "සම් හා ඇට දක්වාම කෙසඟ වූ සිරුරු ඇති (ඔවුන් එසේ කළ යුතුව තිබුණු ලෙස) නිරූපිකාවන් යොදා ගැනීම නතර කිරීමට විලාසිතා ක්ෂේත්‍රය තීරණය කරන්නේනම් ඒ වගේම සමානකමක් ඇති සෞඛ්‍යසම්පන්න නොවන ශරීර හැඩ ප්‍රවර්ධනය නොකළ යුතුයි" යනුවෙන් ඇය සඳහන් කළාය.
මේ අතර ප්‍රාදේශීය රූපවාහිනියකට අදහස් පළකරමින් Sports Illustrated කර්තෘ එම්. ජේ. ඩේ පැවසුවේ "රූප ශෝභාව යනු 'සැමට රුචි එක ප්‍රමාණයක්' නොවන්නේය යන අතිශයින්ම ධනාත්මක ප්‍රකාශනය අප දී තිබෙනවා" යනුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ මතවාදයට සෞඛ්‍ය විශේෂඥයින්ද එක්වී සිටිති.
නිව් සවුත්වේල්ස් හි ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය බ්‍රැඩ් ෆ්‍රෑන්කම්, අතිශයින්ම කෙසඟ නිරූපිකාවන් සම්බන්ධයෙන් ඇතිවූ පසුගාමී තත්ත්වයට සමාන ස්වභාවයක් ස්ථුලතාවෙන් යුතු නිරූපිකාවන් සම්බන්ධයෙන් මතුනොවන්නේ මන්දැයි ප්‍රශ්න කරයි.
"කවුරු හෝ දුම්වැටියක් උරමින් විලාසිතා දැක්මේ යෙදෙනවානම් එයින් ඉතා අයහපත් පණිවිඩයක් ගෙනෙන බවට උද්ඝෝෂණයක් නැගේවි" යැයි ඔහු බීබීසී සමග පැවසීය.
"අන්න ඒ වගේ, ඇඳුම් විලාසිතා දැක්ම සඳහා තරබාරු හෝ ස්ථුල සිරුරු ඇති අය යොදවන්නේ නම් එයින් ප්‍රකාශ වෙන්නේ කුමක්ද ? අප ස්ථුලතාව උත්කර්ෂවත්ව අගයන බවද ? මා හිතන්නේ එය අනතුරුදායකයි. මක්නිසාද කිව්වොත්, එය අනතුරුදායී සෞඛ්‍ය තත්ත්වයක් බව අප දන්නවා"
විලාසිතා දැක්මේ ඇතැම් නිරූපිකාවන් ස්ථුලතාවෙන් යුතු බව පැහැදිලිව පෙනෙන්නට තිබුනා යැයි වෛද්‍ය ෆ්‍රෑන්කම් සඳහන් කළේය.
කෙසේවෙතත්, බේකර් අයිඩීඅයි හෘද සහ දියවදියා ආයතනයේ සායනික ස්ථුලතා පර්යේෂණ අංශයේ ප්‍රධානී මහාචාර්ය ජෝන් ඩික්සන් මීට ඉඳුරාම වෙනස් අදහසක් දරයි.
ඔහු කියා සිටින්නේ නිරූපිකාවන් විසින් සමාජයේ සෑමදෙනාම නියෝජනය විය යුතු බවය.
"අපේ සමාජයේ තරබාරු අයගෙන් සමන්විත වීම සාමාන්‍ය තත්ත්වයක් (ඔස්ට්‍රේලියානුවන්ගෙන් 20%ක් ස්ථුලතාවෙන් යුතුය) වීම තුළ විලාසිතා දැක්මක ස්ථුලතාවෙන් යුතු පුද්ගලයන් ඇතුළත් නොවිය යුතුයි කීම තරමක් නින්දාසහගත දෙයක්"
මහාචාර්ය ඩික්සන් ට අනුව ශරීර ස්කන්ධ දර්ශකය (BMI) 25ත් 30ත් අතර ඇති පුද්ගලයෝ තරබාරු පරාසයට අයත් වෙති.
විලාසිතා දැක්මකදී තරබාරු හෝ ස්ථුලතාවෙන් යුතු පුද්ගලයින් ඇතුළු ඕනෑම අයෙකු ඉතා අගනා ලෙස පෙනෙනු ඇති බව ඔහු පවසයි.
"ස්ථුලතාව හා බැඳුනු කොන්කිරීම ඉතා ප්‍රබල බව අප දන්නවා. හොඳින් විඳගැනීමට, ප්‍රසන්නව පෙනී සිටීමට මෙන්ම හොඳින් හැදපැළඳීම සඳහා ස්ථුලතාවෙන් යුතු පුද්ගලයින්ට ඇති හැකියාවට අප ගරු කළ යුතුයි" යනුවෙන් මහාචාර්ය ජෝන් ඩික්සන් කියා සිටී.


අවධානය වැදගත්
මෙල්බර්න් විලාසිතා සතියේ මූලික චරිතය මෙන්ම නිරූපිකාවක ද වන ස්ටෙෆානියා ෆෙරාරියෝ, ක්ෂේත්‍රය අන්තගාමීත්ව කෙරෙහි අවධානය නොකළ යුතු බව පවසන්නීය.
"සියලු විවිධ ප්‍රමාණ හා හැඩයෙන් යුතු නිරූපිකාවන්ගේ විවිධත්වය වෙනුවෙන් මා පෙනී සිටිනවා. නමුත් මා හිතන්නේ විලාසිතා දැක්මේ නිරූපිකාවන් අතරින් බොහොමයක් සෞඛ්‍යසම්පන්න බර පරාසයක නොවීම වගකීම් විරහිත තත්ත්වක් බවයි" යැයි ඇය බීබීසී සමග ප්‍රකාශ කළාය.
ආහාර ගැනීමේ අක්‍රමිකතාවකින් පෙලෙන්නේයැයි පැවසුණු 24 හැවිරිදි ස්ටෙෆානියා ෆෙරාරියෝ තමා අධි ප්‍රමාණ (plus-size) ලෙස හඳුන්වාදෙනු ලැබීම ප්‍රතික්ෂේප කරන්නීය.
ඇය පෙන්වා දෙන්නේ, "ඔස්ට්‍රේලියානු මැනුමට අනුව අටෙන් ඉහළනම් හඳුන්වන්නේ අධි ප්‍රමාණ ලෙසයි. සාමාන්‍යයෙන් කාන්තාවක් ප්‍රමාණ 12 හෝ 14 වන අතර මෙය තරුණියන්ව අතිශයින්ම නොමග යවන සුළුයි" යනුවෙනි.
"මේ කාන්තාවන් සිහින් නොවන බව එයින් හැඟවෙනවා"

ඡායාරූප මූලාශ්‍රය, Manny Roman
සිය ශරීර ස්කන්ධ දර්ශකයේ "තරබාරු ඝණයේ" ලා සැළකීම හේතුවෙන් කලකට තමා නිරූපණ කාර්යයෙන් ඉවත්වූ බව ෆෙරාරියෝ පවසන්නීය.
"මට ඇත්තෙන්ම අපහසුවක් වගේම සෞඛ්‍යසම්පන්න නොවන බවක් දැනෙන්නට පටන්ගත්තා. සෞඛ්‍යසම්පන්න මනසක් වගේම සිරුරක් හිමිකරගැනීමට අවශ්‍ය වූ නිසා ඒ කාලය තුළදී මා නිරූපණයෙන් ඉවත්ව සිටියා" ඇය සඳහන් කළාය.
සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම මතුකරන වෛද්‍ය ෆ්‍රෑන්කම්, "මට නිසැකව හිතෙන්නේ නැහැ, පුද්ගලයින්ට තමන් ගැන යහපත්ව හැගීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාන ඇඳුම් සහ කොමු පිළි (යට ඇඳුම්) විලාසිතා දැක්මට ස්ථුල නිරූපිකාවන් යොදාගත යුතුයැයි කියා. ඒ විදිහට ඒක සාර්ථක වෙන්නේ නැහැ" යැයි පවසයි.
"ඇත්තෙන්ම සියලු ප්‍රමාණවල හා හැඩයේ සිරුරු ඇති පුද්ගලයින් අප සමීප කරගන්නට ඕන. නමුත් ඒ එක්කම වඩා ක්‍රියාශීලීවන්නට, සුවතාවෙන් යුක්තවන්නට හා හොද ආහාර රටාවලට ඔවුන්ව යොමු කරන්නට උත්සාහ දැරිය යුතුයි"
ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය යනු ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය වෘත්තිකයින් නියෝජනය කරනු ලබන ප්‍රධාන වෘත්තීය ආයතනය වේ.










