මිනිසුන් විකුණන තායි ජනරාල්

ජනරාල් මනස් 2015 වසරේ අත්අඩංගුවට ගත් මොහොත

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනරාල් මනස් 2015 වසරේ අත්අඩංගුවට ගත් මොහොත

මිනිසුන් අනවසරයෙන් රටින් රටට පැටවීමේ ජාවාරම සහ රටවල් අතර සංවිධානාත්මක අපරාධ සිදු කරනු ලැබීම සම්බන්ධයෙන් තායිලන්තයේ පැවැත්වුන බෙහෙවින් අවධානයට ලක් වෙමින් පැවති විශේෂ නඩු විභාගයක දී හිටපු තායි හමුදා ජනරාල්වරයකු එම චෝදනාවලට වරදකරු යයි තීන්දු කෙරුණි.

මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තායිලන්තයේ පැවැත්වුන බරපතළම නඩු විභාගය මෙයයි.

වරදකරු කෙරුණ ජනරාල් මනාස් කොන්ග්පැන් (General Manas Kongpan) 'බැංකොක් 'අගනුවර පැවැත්වුන නඩු විභාගයේ දී චෝදනා ලැබ සිටි ඉහළම මට්ටමේ නිලධාරියා විය.

දෙදහසකට අධික රෝහින්ග්‍යා මුස්ලිම් සංක්‍රමණිකයන් කණ්ඩායමක් එන්ජින් ක්‍රියා විරහිතව මුහුදේ පාවෙමින් තිබුණ බෝට්ටුවල රඳවා තැබීමට කටයුතු කළ බවට චෝදනා ලද ජනරාල් මනාස් කොන්ග්පැන්, 2009 වසරේ බීබීසියට අදහස් දක්වමින් තායිලන්තය සංක්‍රමණිකයන්ට මානවීය මට්ටමින් සලකන බවක් කියා තිබුණි.

බෝට්ටු පතුලේ සඟවා කෙරෙන මිනිස් ජාවාරම

ඡායාරූප මූලාශ්‍රය, MOI

ඡායාරූප ශීර්ෂ වැකිය, බෝට්ටු පතුලේ සඟවා කෙරෙන මිනිස් ජාවාරම

මියන්මාරයෙන් පළා යමින් සිටි බංග්ලාදේශ් ජාතිකයන් සහ 'රෝහින්ග්‍යා' මුස්ලිම් ජාතිකයන් මුදලට විකිණීම සම්බන්ධයෙන් සියයකට අධික පිරිසක් මේ නඩුවේ දී චෝදනා ලැබ සිටියහ.

ඔවුන්ගෙන් ඇතැමෙක් මියන්මාර් සහ බංග්ලාදේශ් ජාතිකයෝ වෙති.

එම චුදිතයන් අතරින් හතළිස් දෙනකුට අධික කණ්ඩායමක් පුද්ගලයන් පැහැර ගැනීම ,දූෂණය කිරීම සහ මරා දැමීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබුණ චෝදනාවලට වැරදිකරුවන් වන බව අධිකරණයේ තීන්දුව විය.

වනගත රහසිගත කඳවුරක නොගැඹුරු පසෙහි වළදමා දමා තිබුණ මළ සිරුරු රැසක් සොයාගනු ලැබීමෙන් අනතුරුව සැකකරුවන් විශාල පිරිසක් 2015 වසරේ අත්අඩංගුවට ගෙන තිබුණි.

එහෙත් මේ අතර තමන් තවත් අපරාධකරුවන්ට එරෙහිව නඩු පවරනු ලැබීම නතර කරවනු ලැබ ඇතැයි ප්‍රධාන පරීක්ෂකයෝ කියා සිටිති.

මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු

මියන්මාරයේ දී පීඩාවන්ට ලක් කෙරෙන රෝහින්ග්‍යා මුස්ලිම් ජාතිකයන් එරටින් පළා යන්නේ මිනිස් ජාවාරම්කරුවන්ට අල්ලස් දීමෙනි.

මියන්මාරයෙන් පළා යන රටක් නොමැති රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ගේ ඉලක්කය තායිලන්තය මැලේසියාව හෝ ඉන්දුනීසියාවයි.

රෝහින්ග්‍යා මුස්ලිම් ජනයා වෙනම ජන කොටසක් ලෙස භාරගනු ලැබීම ප්‍රතික්ෂේප කරන මියන්මාර් බලධාරීහු ඔවුන් බංග්ලාදේශ් සංක්‍රමණිකයන් හැටියට සළකති.