සෞදිය: කොට සායක් ඇඟලූ කත පොලිසියට

Screengrab from video posted by "Khulood" showing a woman walking through a historic village in Saudi Arabia

ඡායාරූප මූලාශ්‍රය, Twitter

කොට සායක් සහ හැට්ටයක් ඇඟලා පොදු ස්ථානයක සිටින ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයක් අන්තර්ජාලයේ පළ කළ තරුණියකගෙන් සෞදි පොලිසිය ප්‍රශ්න කර තිබේ.

සෞදි රාජ්‍ය මාධ්‍ය කියා සිටියේ "අවිනීත ඇඳුමකින්" සැරසී සිටි කාන්තාව "රජයේ නීතිවේදීන් වෙත යොමු කරනු ලැබූ" බවය

රියාද් අගනුවරට කිලෝමීටර 155 ක් උතුරු දිගින් පිහිටි ඓතිහාසික බලකොටුවක් ආසන්නයේ තමන් ඇවිද යන ආකාරය දැක්වෙන දර්ශන නිරූපිකාවක් වන "කුලූද්" නමැති කාන්තාව විසින් ස්නැප්චැට් සමාජ ජාලයේ පළ කරනු ලැබ තිබිණි.

ඒ සමග ඇය සොයා සෞදි අරාබි බලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබීය.

ඇයගේ එම ක්‍රියාව සමාජ ජාල තුළ සංවාදයට බඳුන්ව ඇති අතර ගතානුගතික මුස්ලිම් ඇඟලුම් රටාව කඩ කිරීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගන්නා ලෙස සමහරෙක් ඉල්ලා සිටියහ.

"නිර්භීතභාවය" සහ දඬුවම්

වීඩියෝ ශීර්ෂ වැකිය, කොට සාය මතභේදයට

තරුණිය වෙනුවෙන් පෙනී සිටින ඇතැම් සෞදි ජාතිකයෝ ඇයගේ "නිර්භීතභාවය" ඇගයීමට ලක් කළහ.

සිරුර සම්පූර්ණයෙන් ආවරණය වන 'අබායා' ඇඟලීම සෞදි අරාබිය තුළ දී කාන්තාවන්ට අනිවාර්ය වේ.

මුස්ලිම් භක්තික කාන්තාවක් නම් හිස ආවරණය කර ගත යුතුය.

සෞදිය තුළ කාන්තාවන්ට රිය පැදවීම තහනම් අතර ඥාතීන් නොවන පුරුෂයන්ගෙන් ඔවුන් වෙන්ව තැබේ.

අදාළ වීඩියෝ දර්ශනය සම්බන්ධයෙන් සෞදි ට්විටර් ගිණුම් හිමියන් අතර ද මත දෙකක් පවතී.

තරුණියට දඬුවම් කළ යුතු බව ඉන් එක් මතයකි. තමන්ට රිසි ඇඳුමක් ඇඟලීමට ඇයට ඉඩ දිය යුතු බව අනෙක් මතයයි.