ජංගම දුරකථන තහනම හමුදා නිලධාරියකුට මරු කැඳවයි

වෙඩි තැබීම සිදුකළ සොල්දාදුවාගේ අනන්‍යතාව ප්‍රකාශයට පත්කර නොමැත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වෙඩි තැබීම සිදුකළ සොල්දාදුවාගේ අනන්‍යතාව ප්‍රකාශයට පත්කර නොමැත.

ඉන්දු කාශ්මීරයේ තරුණ සොල්දාදුවෙක් ජංගම දුරකතනයක් මුල්කර ගත් ආරාවුලක් දුරදිග යාමෙන් සිය අණදෙන නිලධාරියාට වෙඩිතබා මරා දමා ඇත.

ඉන්දියානු යුද හමුදාව කාශ්මීරයේ සිදු වූ එම වෙඩි තැබීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළිදරව් නොකරන නමුත්, එය ජංගම දුරකතනයක් මුල්කර ගත් විවාදයක් නිසා සිදුවූවක් බව කනිෂ්ඨ යුද නිලධාරීහු බීබීසියට ප්‍රකාශ කළහ.

සොල්දාදුවා ළඟ සිට සිදුකර ඇති වෙඩි තැබීමෙන් මරණයට පත්ව ඇත්තේ මේජර් ෂිකාර් තාපා (Major Shikhar Thapa) නම් අණදෙන නිලධාරියෙකි.

වෙඩි තැබීම සිදුකළ සොල්දාදුවාගේ අනන්‍යතාව ප්‍රකාශයට පත්කර නොමැත.

රාජකාරියේ නිරත වෙමින් සිටියදී දුරකථනය පාවිච්චි කිරීමෙන් වළකින ලෙස හමුදා සොල්දාදුවාට දැනුම් දී තිබුණ බවත් එම දුරකතනය නිලධාරීන් භාරයට ගෙන තිබුණ බවත් මාධ්‍ය වාර්තා මගින් පැවසෙයි.

ඉන්දු කාශ්මීරයේ පොලිස් භටයෙක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දු කාශ්මීරයේ පොලිස් භටයෙක්

දුරකථනය පාවිච්චි කරනු ලැබීම සම්බන්ධයෙන් යුද නිලධාරියා සොල්දාදුවාට තරවටු කර ඇති අතර එම අවස්ථාවේ අදාළ ජංගම දුරකථනයට හාණි සිදුව පැවති බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ යුද හමුදාව වැඩිදුර පරීක්ෂණයක් පවත්වන බව ඒ පිළිබඳව බීබීසියට අදහස් දැක්වූ නිලධාරීහු සඳහන් කළහ.

එම වෙඩි තැබීම වාර්තා වුණේ, ඉන්දීය සන්නද්ධ හමුදාවන්හි චිත්ත ධෛර්යය පිළිබඳව මැසිවිලි පළ වෙමින් පවතින අතරයි.

තමන්ට සපයනු ලබන ආහාරවල ගුණාත්මකභාවය පිළිබඳව පැමිණිලි කරමින් ඉන්දීය සොල්දාදුවකු විසින් මේ වසර මුලදී අන්තර්ජාලයේ පළ කරන ලද වීඩියෝ පටයක් ලෝකය පුරා පැතිර යාමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විභාගයක් පවත්වන ලෙස බලධාරීහු නියෝග කර තිබුණි.

ඉන්දීය හමුදාව සහ කාෂ්මීර් විරෝධතාවාදීන් අතර ගැටුමක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය හමුදාව සහ කාෂ්මීර් විරෝධතාවාදීන් අතර ගැටුමක්

ඉන්දීය පරිපාලනය පවතින කාශ්මීරයේ ඡන්ද විමසීමක් පැවැත්වෙන අතරවාරයේ මිනිසකු යුද හමුදා වාහනයක ඉදිරිපස ගැටගසා ඔහු මිනිස් පළිහක් හැටියට පාවිච්චි කරනු ලැබීමක් මුල්කර ගෙනත් ඉන්දියානු හමුදාව බලවත් විවේචනවලට ලක්විය.

එහෙත් එම සිද්ධිය වාර්තා වූ අවධියේ එහි කටයුතු කළ හමුදා ප්‍රධානියා පසු කාලයෙහි සම්මාන ලද බවක් ද වාර්තා වෙයි.

ඇතැම් විශ්ලේෂකයන්ට අනුව එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ යුද හමුදාවේ චිත්ත ධෛර්යය නංවාලීමටයි.

ඉන්දියානු යුද හමුදා ආරංචි මාර්ගවලින් බීබීසියට දැන ගන්නට ලැබෙන ආකාරයට කාශ්මීර් නිම්නයේ රඳවා සිටින ඉන්දීය සෙබළුන්ගේ චිත්ත ධෛර්යය ඉතා පහළ මට්ටමක පවතී.

එම ආරංචි මාර්ගවලට අනුව, කාශ්මීර් භූමිය බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින බවට හැඟීමක් තමන් තුළ වැඩෙමින් ඇති බව පවසන බොහෝ ඉන්දියානු සොල්දාදුවෝ, කාශ්මීරයේ සිය භූමිකාව සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවෙති.

ඉන්දීය පරිපාලනයටඑරෙහි පෙළපාලියක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය පරිපාලනයටඑරෙහි පෙළපාලියක්

කාශ්මීරය මුල්කර ගනිමින් ඉන්දියාව සහ පකිස්තානය අතර වසර හැත්තෑවක් තරම් පැරණි ආරාවුලක් පවතී.

ඉන්දීය පරිපාලනය සහිත කාශ්මීරයෙන් පසුගිය මාස කීපය තුළ යළිත් ප්‍රචණ්ඩ ගැටුම් වාර්තා විය.