'පිරිමි ළමුන් අපයෝජනය කළ ගීතිකා පාසලක්'

1945 වසරේ සිට අනූව දශකයේ මුල් භාගය දක්වා කාලය තුළ ලෝක ප්‍රසිද්ධ රෝමානු කතෝලික ගීතිකා පාසලක ඉගෙනුම ලැබූ පිරිමි ළමුන් පන්සීයකට අධික සංඛ්‍යාවක් ශාරීරික හෝ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව ජර්මනියේ ප්‍රකාශයට පත් වාර්තාවක් පෙන්වා දෙයි.

ගීතිකා පාසලේ ගුරුවරුන් සහ දේවස්ථාන පාලකයන් පනහකට ආසන්න පිරිසක් ඊට සම්බන්ධ වී ඇති බව රේගන්ස්බර්ග්හි ස්පැරෝස් දෙව්මැදුරේ ගීතිකා පාසල සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාවේ දැක්වේ.

ගීතිකා කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටි ඇලෙක්සැන්ඩර් ප්‍රොබ්ස් කියා සිටියේ එහි ඉගෙනුම ලබන අවධියේ තමන් අපයෝජනයට ලක් වූ බවය.

"දශක ගණනාවක් පුරා මෙය දිගින් දිගටම සිදු වූවක්. ඉන් දරුවන් පන්සීය හතළිස් හත් දෙනෙක් අපයෝජනයට ලක් වුනා. ඔවුන්ට සමාජීය වශයෙන් හානි සිදු වුනා. තවමත් ඔවුන් චිත්ත පීඩාවෙන් පෙළෙනවා" යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

නීතිමය ක්‍රියාමාර්ග

අදාළ කාලයෙන් වැඩි කොටසක් රෝමානු කතෝලික ගීතිකා කණ්ඩායම භාරව සිටි පූජක ගෙයෝර්ග් රට්සින්ගර් අදාළ සිදුවීම් සම්බන්ධයෙන් තමන් දැන සිටියේ යැයි නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරයි. ඔහු මීට පෙර සිටි පාප් වහන්සේගේ සහෝදරයාය.

ගීතිකා පාසලේ ඉගෙනුම ලැබූ කාලය පිළිබඳ අදහස් දක්වමින් සිසුන් කියා සිටියේ එය නිරයට හා වධ කඳවුරකට සමාන වූ බවය.

දීර්ඝ කාලයක් ගතව ඇති බැවින් අපරාධවලට සම්බන්ධ යැයි පැවසෙන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව අඩු බව වාර්තා වේ.