වසරකට ඇමරිකානු ළමුන් 1300ක් තුවක්කුවට බිලි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එක්සත් ජනපදයේ, සෑම වසරකම වයස අවුරුදු 17ට අඩු ළමුන් 1300ක් පමණ වෙඩි වැදී මිය යන බව එරට රජය විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළිවෙයි.
මීට අමතරව වසරකට ළමුන් 5800ක් පමණ ගිනි අවියකින් බරපතළ ලෙස තුවාල ලබන බව ද මෙම සමීක්ෂණ වාර්තාව සඳහන් කරයි.
මෙම අධ්‍යයනය සිදු කරනු ලැබ ඇත්තේ එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වළක්වාගැනීම සඳහා පිහිටුවා ඇති මධ්‍යස්ථානය විසිනි.
වෙඩි වැදීමකින් මිය යන ළමුන්ගෙන් 82%ක් පිරිමි ළමුන් වන අතර කළු ජාතික සම්භවයක් සහිත ළමුන් ඊට ගොදුරුවීම වෙනත් ළමුන්ට වඩා දස ගුණයකින් වැඩි බව ද මෙම අධ්‍යයනයෙන් හෙළිවී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වෙඩි පහරින් මිය ගිය ඇමරිකානු ළමුන්ගේ සංඛ්‍යාවෙන් අඩකට වැඩි ප්‍රමාණයක් මිනීමැරුම් වන අතර 38%ක් සියදිවි හානිකර ගැනීම් ලෙස අධිකරණය විසින් විනිශ්චය කරනු ලැබ තිබේ.
එක්සත් ජනපදය තුළ ගිනි අවි ආශ්‍රිත ළමා මරණවලින්, අත්වැරදීමකින් වෙඩි උණ්ඩයකට ගොදුරුවී මියගොස් ඇති ළමුන්ගේ ප්‍රතිශතය 6%කි.
මෙම අධ්‍යයනය මෙහෙයවූ එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වළක්වාගැනීම සඳහා පිහිටුවා ඇති මධ්‍යස්ථානයේ කැතරින් ෆ්ලවර් කියා සිටියේ "එක්සත් ජනපදයේ ළමුන් මියයන ප්‍රධාන හේතුවක් තමයි ගිනි අවිය. අකල් මරණ සිදුවෙනවා. ඇතැමුන් රෝගීන් සහ අබාධිතයන් වෙනවා." යනුවෙනි.
"ගිනි අවි ආශ්‍රිත සිදුවීම් නිසා දවසකට ළමයින් 19 දෙනෙක් පමණ රෝහල්ගත වෙනවා. ඉන් ඇතැමෙක් මිය යනවා." යැයි ඇය තවදුරටත් කියා සිටියේ රොයිටර් ප්‍රවෘත්ති සේවයට ය.
මෙම සමීක්ෂණයෙන් හෙළිදරව් වී ඇති තවත් විශේෂ කරුණක් වන්නේ 2007 පට 20015 දක්වා කාලය තුළ, ගිනි අවි භාවිත කරමින් දිවි හානිකර ගැනීමේ සිදුවීම් 60%කින් ඉහළ ගොස් ඇති බවය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
පවුලේ ප්‍රශ්න, ප්‍රේම සබඳතා සහ ආතතිය වැනි කාරනා මූලික කොටගෙන බොහෝ විට ළමුන් සිය දිවි හානි කර ගැනීමට පෙළඹෙන බව මෙම වාර්තාවේ සඳහන් වෙයි.
ගිනි අවි යොදා ගනිමින් දිවි තොර කර ගැනීමට උත්සාහ කළ ළමුන් අතරින් සුදු ජාතික ළමුන් සහ ඇමරිකානු ආදිවාසී ළමුන් මියයාමේ සම්භාවිතාව පස්ගුණයකින් ඉහළ බව ද සමීක්ෂකයෝ පවසති.
ගිනි අවි ආශ්‍රිතව සිදුවූ හදිසි අනතුරුවලින් එක්සත් ජනපදයේ ළමුන් බොහෝ විට මියයන්නේ ඔවුන් ගිනි අවි සමඟ ක්‍රීඩාවේ යෙදීම හේතුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මෙම සමීක්ෂණය ආරම්භ කෙරුණේ පසුගිය ඉරිදා (ජුනි 18) ඇමරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ සිව්හැවිරිදි පිරිමි ළමයෙකු, මුහුණට වෙඩි වැදී මියයාමෙන් අනතුරුවය. එම මරණය සම්බන්ධයෙන් කිසිවෙකුට චෝදනා ගොනුකර නොමැත.
වෙනත් සංවර්ධිත රටවල ළමුන් වෙඩි පහරකින් මිය යාම හෝ තුවාල ලැබීම වාර්තාවන්නේ ඉතා කලාතුරකින් බව ද මෙම සමීක්ෂණ වාර්තාවේ සඳහන් කර තිබේ.
ඉහළ ආදායම් සහිත රටවල වාර්තා සියල්ල සළකා බලන විට ගිනි අවියකින් මිය ගිය, වයස අවුරුදු 14ට වැඩි ළමුන්ගෙන් 90%කට අධික පිරිස ඇමරිකාවේ ජීවත් වූ ළමුන් ය.








