පෘතුගාලයේ වන ගිනි පැතිරෙයි: පනහකට වැඩි පිරිසක් මරුට

පෘතුගාලයේ වන ගිනි

ඡායාරූප මූලාශ්‍රය, EPA

පෘතුගාලයේ Pedrógão Grande ප්‍රදේශයේ පැතිර යමින් පවතින වන ගිනි හේතුවෙන් 58 දෙනෙකුවත් මරුමුවට පත්ව ඇති බව බලධාරීහු පවසති.

එයින් බොහෝ දෙනා මියගොස් තිබෙන්නේ සිය මෝටර් රථවලට නැග කොයිම්බ්‍රා නගරයට කිලෝමීටර 50 ක් පමණ ඈතින් පිහිටි එම ප්‍රදේශයෙන් පළායාමට උත්සාහ කළ අවස්ථාවේ ගින්නට කොටු වීමෙන් බව ආණ්ඩුව පවසයි.

තුවාල ලැබූ 59 දෙනා අතර ගිනි නිවන හමුදා භටයෝ ද සිටිති.

මෑත වසර කිහිපය තුළ හටගත් වන ගිනි අතරින් පෘතුගාලය මුහුණ දුන් "දරුණුම ඛේදවාචකය" මෙය බව අගමැති අන්තෝනියෝ කොස්තා පැවසීය.

ගිනි නිවන භටයන් 1700ක්

මිය ගිය සංඛ්‍යාව ඉහල යාමට ඉඩ තිබෙන බවත් ඔහු පැවසීය.

A number of houses near Pedrógão Grande have been destroyed

ඡායාරූප මූලාශ්‍රය, EPA

එම ගින්න නිවා දැමීම පිණිස ගිනි නිවන හමුදා භටයන් 600 කට ආසන්න පිරිසක් යොදවා තිබෙන නමුත් ඔවුන් තවමත් ගින්න පාලනය කිරීමට සමත් වී නැති බව පෘතුගාලයේ ජනමාධ්‍ය වාර්තා කරයි.

ගින්න අසලම ගැවසෙමින් සිටි අට හැවිරිදි දැරියක ද පිළිස්සුම් තුවාල සහිතව රෝහලට ඇතුළත් කර තිබෙන අතර, ගිනි නිවන හමුදා භටයන් හය දෙනෙකු ද බරපතල තුවාල ලබා සිටිති.

ගින්න පවතින බොහෝ ප්‍රදේශවලට ළඟාවීම දුෂ්කර බැවින් මියගිය සංඛ්‍යාව ඉහල යා හැකි බව ද මාධ්‍ය අනතුරු අඟවයි.

සෙනසුරාදා රාත්‍රියේ රට පුරා විවිධ ස්ථානවල වන ගිනි 60 ක් වත් හටගෙන තිබෙන අතර, ගිනි නිවන හමුදා භටයන් 1700 ක් පමණ එම ගිනි නිවා දැමීමට උත්සාහ දරමින් සිටිති.

බලධාරීන් සඳහන් කරන ආකාරයට ඒ අතරින් "ප්‍රචණ්ඩම" ගින්න හටගෙන තිබෙන්නේ Pedrógão Grande ප්‍රදේශයේය. එය දිසා හතරකින් පැතිර යමින් පවතී.

Firefighters pause as the wildfire continues behind them

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images

පෘතුගාලය

ගිනි නිවා දැමීමට උපකාර කිරීම පිණිස ස්පාඤ්ඤය ජල විදින ගුවන් යානා දෙකක් පෘතුගාලයට යවා තිබේ.

වන ගිනි හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

මේ දිනවල පෘතුගාලයේ දැඩි උෂ්ණාධික කාලගුණයක් පවතින අතර, ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 40ක් දක්වා ඉහල ගොස් තිබේ.