වලසෙක් ඩ්‍රැකියුලා මාළිගය අල්ලා ගනී

ඩ්‍රැකියුලා (Dracula) මාළිගයේ වැලි ආකෘතියක්
ඡායාරූප ශීර්ෂ වැකිය, ඩ්‍රැකියුලා (Dracula) මාළිගයේ වැලි ආකෘතියක්

ඩ්‍රැකියුලා (Dracula) පුරාවෘත්තයට සම්බන්ධ මාළිගයක් මහජනයාට පිවිසිය නොහැකි මට්ටමින් වසා තැබීමට රුමේනියාවේ බලධාරීහු පියවර ගත්හ.

එවැනි පියවරක් ගෙන තිබෙන්නේ ඩ්‍රැකියුලා පුරාවෘත්තයේ සඳහන් ලේ උරාබොන පිශාචයන්ගෙන් නොව වලසුන්ගෙන් මිනිසුන් ආරක්ෂා කිරීමටයි.

සංචාරකයන් පිරිසක් පියගැට 1400 ක් නගිමින් ඩ්‍රැකියුලා (Dracula) පුරාවෘත්තයට සම්බන්ධ රුමේනියානු මාළිගය (Poenari Castle) නැරඹීමට ගිය අවස්ථාවක එහි සිටි දුඹුරු පැහැති වැලහින්නක් දැක ඇත.

එම වැලහින්න අසල කුඩා වලස් පැටවුන් තුන්දෙනකු සිටි බවත් එම සංචාරකයෝ පවසති.

ක්‍රිස්ටෝපර් ලී -ඩ්‍රැකියුලා ලෙස රංගනයේ
ඡායාරූප ශීර්ෂ වැකිය, ක්‍රිස්ටෝපර් ලී -ඩ්‍රැකියුලා ලෙස රංගනයේ

රුමේනියානු බලධාරීන් ඩ්‍රැකියුලා (Dracula) මාළිගය මහජනයාට පිවිසිය නොහැකි පරිදි වසා දමන ලද්දේ එම සිද්ධිය වාර්තා වීමෙන් පසුවයි.

මාළිගය තුළ පදිංචි වී සිටින වලස් පවුල ඉන් ඉවත් කිරීමට රුමේනියානු පරිසර අමාත්‍යාංශය අවසර දී ඇතත් නිලධාරීන් එම වලසුන් ගෙන යන ස්ථානය තවමත් තීන්දු කර නැත.

ඩ්‍රැකියුලා මාළිගය නැරඹීමට පැමිණෙන සංචාරකයන් ඉතිරිකර යන ආහාර මාළිගයට වන සතුන් ආකර්ෂණය වීමට හේතු වී ඇතැයි රුමේනියානු පොලිසිය පවසයි.

සිනමා වෘත්තාන්තයක මිනිස් රුධිරය උරාබොන පිශාචයෝ
ඡායාරූප ශීර්ෂ වැකිය, සිනමා වෘත්තාන්තයක මිනිස් රුධිරය උරාබොන පිශාචයෝ

මිත්‍යා පුරාවෘත්තයක් පාදක කරගත් 'ඩ්‍රැකියුලා' පළමු නවකතාව 1897 වසරේ ප්‍රකාශයට පත්විය.

අයිරිෂ් ජාතික Bram Stoker එහි කතුවරයා වෙයි.

'කවුන්ට් ඩ්‍රැකියුලා' චරිතය සහ පිශාච කල්පිතය ලෝකයට හඳුන්වා දෙන ලද්දේ එම නවකතාව මගිනි.

පිසාච චරිත පාදක කොටගත් නවකතා සාහිත්‍යයක් සහ අද්භූත බිහිසුණු කතා ඇතුළත් භීම සිනමාවක් (horror film ) පසු කාලයේ නිර්මාණය කෙරුණේ ඉන් අනතුරුවයි.