ඇමරිකානු පුරවැසියෙක් 'උතුරු කොරියාවේ රඳවාගෙන'

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඇමරිකානු පුරවැසියෙකු උතුරු කොරියාව විසින් රැඳවුම් භාරයට ගනු ලැබ ඇති බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි.
මෙම පුද්ගලයා රැඳවුම් භාරයට ගෙන ඇත්තේ උතුරු කොරියාවෙන් පිටවීම සඳහා ප්යොංයැං ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේදී ය.
ඇමරිකානු පුරවැසියකු රඳවාගත් බවට වාර්තා වන්නේ එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර උණුසුම් වාතාවරණය උත්සන්න වෙමින් පවතින අතරවාරයේ ය.
දකුණු කොරියානු මාධ්‍ය සඳහන් කරන පරිදි රැඳවුම් භාරයට පත්වූ පනස් වියැති පුද්ගලයා චීනයේ විශ්වවිද්‍යාලයක හිටපු මහාචාර්යවරයෙකි.
ඔහු සහන සේවා වැඩසටහනක් වෙනුවෙන් උතුරු කොරියාවට පැමිණ මාසයක් පමණ එරට ගතකර ඇත.
තුන්වැනි ඇමරිකානු පුරවැසියා

ඡායාරූප මූලාශ්‍රය, AFP
උතුරු කොරියාව විසින් රඳවාගෙන සිටින තුන්වැනි ඇමරිකානු පුරවැසියා මොහුවන අතර මීට පෙර රඳවාගත් එක් ඇමරිකානු පුරවැසියෙකුට ඔත්තු බැලීමේ නිරතවූ බවට එල්ලවූ චෝදනාවලට දඬුවම් පැනවීය.
පසුගිය ඔක්තෝම්බරයේ දී, හැට දෙහැවිරිදි එම පුද්ගලයා බරපතළ වැඩ සහිත දස වසරක සිර දඬුවමකට යටත් කරන ලදී.
අනෙක් පුද්ගලයාට 2016 වසරේ දී දඬුවම් නියම වූයේ හෝටලයකින් ලාඤ්ඡනයක් සොරකම් කළ බවට එල්ල වූ චෝදනාවට ය.
විසිඑක් හැවිරිදි ශිෂ්‍යයෙකු වූ ඔහුට බරපතළ වැඩ සහිතව 15 වසරක සිර දඬුවමක් හිමි විය.
"උකසට"
උතුරු කොරියාව තම පුරවැසියන් අත්අඩංගුවට ගෙන "උකසට" තබා ගන්නා බවට එක්සත් ජනපදය චෝදනා කරයි.
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් ගේ සහෝදරයෙකු මැලේසියාවේ දී ඝාතනයට ලක්වීමෙන් අනතුරුව උතුරු කොරියාවේ සිටි මැලේසියානු ජාතිකයන් කිහිප දෙනෙකු ද රැඳවුම් භාරයට පත්විය.
උතුරු කොරියාව පසුගියදා ප්යොංයැං නුවරදී පැවැත්වූ දැවැන්ත හමුදා සංදර්ශනය සහ මිසයිල අත්හදා බැලීමත් සමඟකලාපයේ යුද වාතාවරණයක් නිර්මාණය වෙමින් පවතී.
'කාල් වින්සන්'

ඡායාරූප මූලාශ්‍රය, Reuters
උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන මුල් කර ගනිමින් කොරියානු අර්ධද්වීපයේ ඉහළ යමින් පවතින දේශපාලන උණුසුම හමුවේ 'කාල් වින්සන්' නෞකාව ප්‍රමුඛ නාවික ප්‍රහාරක කණ්ඩායමක් එම කලාපයට යාත්‍රා කරමින් සිටින බව ඇමරිකානු නාවික හමුදාව අප්‍රේල් 08 වෙනිදා නිවේදනය කළේය.
මෙම ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුළු සෙසු යුද නෞකා උතුරු කොරියාව දෙසට නොගොස් ප්‍රතිවිරුද්ධ දිශාවට යාත්‍රා කොට ඇතැයි ඊට පසුව වාර්තා විය.
ඇමෙරිකාව සහ සිය රට අතර ඉහළ යමින් පවතින මිලිටරි උණුසුම සහ ජාත්‍යන්තරයෙන් එල්ලවන දෝෂාරෝපණ නොසලකා හරිමින් දිගින් දිගටම මිසයිල අත්හදාබැලීම්වල නිරත වන බව උතුරු කොරියාව ප්‍රකාශ කර තිබුණි.
පසුගිය වසර කීපය තුළ ජාත්‍යන්තරයෙන් එල්ල වූ දැඩි විරෝධය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවනු ලැබූ සම්බාධක නොසලකා හරිමින් උතුරු කොරියාව දිගින් දිගටම සිය මිසයිල අත්හදා බැලීමේ කටයුතු වල නිරත විය.








