විදේශීය ඔත්තුකරුවන්ට එරෙහිව 'මහා ප්‍රාකාරයක්'

The cash rewards range from 10,000 to 500,000 yuan

ඡායාරූප මූලාශ්‍රය, AFP/getty images

ඡායාරූප ශීර්ෂ වැකිය, විදේශීය ඔත්තුකරුවන් පිළිබඳ තොරතුරු සපයන බෙයිජිං නුවරවාසීන්ට ඩොලර් 72,000 ක් දක්වා වූ ත්‍යාග මුදලක්

විදේශීය ඔත්තුකරුවන් පිළිබඳව තොරතුරු සපයන්නන්ට ඉතා ඉහල ත්‍යාග මුදල් පිරිනැමීමට චීන ආණ්ඩුව තීරණය කර තිබේ.

විශේෂයෙන්ම එවැනි තොරතුරක් සපයන බෙයිජිං නුවරවාසීන්ට ඩොලර් 72,000 ක් (යුවාන් ලක්ෂ පහක්) දක්වා වූ ත්‍යාග මුදලක් පිරිනැමෙන බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

"දුෂ්ඨ" විදේශීය ඔත්තුකරුවන්ගෙන් රට බේරාගැනීම පිණිස ක්‍රමයෙන් "මහා යකඩ ප්‍රාකාරයක්" ඉදිකිරීම පිණිස ජනතාව තමන්ට සහාය දිය යුතු බව අගනුවර බලධාරීහු පවසති.

'හඳුනා නොගත් වස්තුවක්'

විදේශීය ඔත්තුකරුවන්ගේ කූට උපක්‍රමවලින් බේරීම ඇතුළු කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් චීන බලධාරීහු පසුගිය වසරේ දියත් කළහ.

ඒ අනුව පසුගිය වසරේ හඳුන්වා දුන් විශේෂ දුරකථන අංකය අමතා හෝ තැපැල් මාර්ගයෙන් හෝ බෙයිජිං නගර සභාවේ විශේෂ ඒකකයට පැමිණ එම තොරතුරු දැනුම්දිය හැකි බව නව විධිවිධාන නිවේදනය කරමින් බෙයිජිං නගර සභාවේ ආරක්ෂක ඒකකය නගරවසියන්ට දැනුම් දුන්නේය.

"බෙදා වෙන්කිරීම, රහසේ ඇතුළුවීම, සොරකම සහ විනාශකිරීම" සඳහා රහස් ඔත්තුකරුවන් ඇතුළු කණ්ඩායම්වල පළමු තෝරාගැනීම චීන පරිපාලනයේ කේන්ද්‍රයවන බෙයිජිං අගනුවර බව බලධාරීහු පවසති.

"විදේශීය අකුරු කොටා තිබුණු හඳුනා නොගත් වස්තුවක්" පසුගිය ජනවාරි මාසයේ ජියැන්ශු පළාතේ ධීවරයන්ට හමුවී තිබෙන බව පවසන ඔවුහු, එම ධීවරයන් විසින් අදාළ වස්තුව බලධාරීන්ට භාරදුන් බවද පවසති.

ඉන් අනතුරුව එය "චීනය පිළිබඳව තොරතුරු රැස්කරන රහස් ඔත්තු සෙවීමේ මෙවලමක්" බව හෙළි වී තිබේ.