ගංගා, යමුනා නදීවලටත් නෛතික පුද්ගලභාවය

ගංගා නදිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගංගා නදිය

ඉන්දියාවේ අධිකරණයක් විසින් ගංගා සහ යමුනා නදී ජීවී වස්තු ලෙස නම් කරනු ලැබීය.

උත්තර්ඛණ්ද් ප්‍රාන්තයේ මහාධිකරණය විසින් ලබා දෙනු ලැබූ එම අධිකරණ තීන්දුවට අනුව ගංගා සහ යමුනා නදී ද්විත්වය සඳහා නෛතික පුද්ගලභාවය හිමි වේ.

ඉතා බරපතල ලෙස දූෂණයට ලක් වී පවතින එම ගංගා සහ ඒ හා සම්බන්ධ ජෛව පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අදාළ තීන්දුව ඉවහල් වනු ඇති බවට බලාපොරොත්තු පළ වේ.

අධිකරණ විසින් දෙනු ලැබූ එම තීන්දුව සම්බන්ධයෙන් පරිසරවේදීන්ගේ අවධානය යොමු වී තිබේ.

කෙසේ නමුත් දිල්ලියේ පිහිටි විද්‍යා සහ පාරිසරික මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක කියා සිටියේ පරිසර දූෂණය වැළැක්වීම සඳහා දැනට පවතින නීති ප්‍රසිද්ධියේ උල්ලංඝනය කෙරෙන බවය.

පරිසර දූෂණය

ගංගා සහ යමුනා නදී ඉන්දියාව තුළ වන්දනාමානයට ලක් වේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ගංගා සහ යමුනා නදී ඉන්දියාව තුළ වන්දනාමානයට ලක් වේ

මළපහ කිරීම සහ අපද්‍රව්‍ය ගංගාවලට මුදා හැරීම ගැටලු ගණනාවකට හේතු වී ඇති බව ඇය කියා සිටියාය.

ලොව ප්‍රථම වරට නවසීලන්තයේ ගංගාවකට පසුගියදා නෛතික පුද්ගලභාවය හිමි විය.

ඒ උතුරු දූපතේ පිහිටි වඟනූයි නදිය ජීවී වස්තුවක් වශයෙන් පිළිගනිමින් නවසීලන්ත පාර්ලිමේන්තුව පනතක් සම්මත කිරීමත් සමගය.