මහාබාධක කොරල්පර අසිරිය මිහිතලයට අහිමිවෙයි

ස්වාභාවික වර්ණ විනාශය සමඟ මියැදෙන කොරල්පරය

ඡායාරූප මූලාශ්‍රය, BRETT MONROE GARNER

ඡායාරූප ශීර්ෂ වැකිය, ස්වාභාවික වර්ණ විනාශය සමඟ මියැදෙන කොරල්පරය

සාගර ජලයේ උණුසුම වේගයෙන් ඉහල යාමත් සමඟ ඕස්ට්‍රේලියානු මහාබාධක කොරල්පරයේ කොටස් යළිත් ජීවය නොලබන මට්ටමින් මියැදෙමින් පවතින බවට පර්යේෂකයන් කණ්ඩායමක් අනතුරු අඟවති.

එම අළුත්ම පර්යේෂණයේ නිගමන ඇතුළත් වාර්තාවක් 'නේචර්' සඟරාවේ පළ කරනු ලැබ ඇත.

ඕස්ට්‍රේලියාවේ ඊශානදිග වෙරළේ පිහිටා ඇති මහාබාධක පරය ලෝකයේ විශාලතම ස්වාභාවික කොරල්පරයයි.

කොරල්පරයේ විශාල කලාපයක මේ වර්ණ අසිරිය දැන් දකින්නට නොමැත
ඡායාරූප ශීර්ෂ වැකිය, කොරල්පරයේ විශාල කලාපයක මේ වර්ණ අසිරිය දැන් දකින්නට නොමැත

මහාබාධක කොරල්පරය සම්බන්ධයෙන් ඉහත කී අලුත්ම පර්යේෂණය සිදුකළ විද්‍යාඥයන්ගේ විශ්ලේෂණය අනුව, මිහිතලයේ උණුසුම වැඩිවීමත් සමඟ එහි විශාල කලාපයක කොරල් ජීවීන් මැරීයාමේ අනතුරකට මුහුණ දී ඇති අතර, පරිසර තර්ජනය හමුවේ පැරණි කොරල් සම්පත්වලට යළි ජීවය ලැබීමේ අවකාශයක් ද නොමැත.

කොරල්පරය සහ එහි ජලය ගුණාත්මක මට්ටමින් පවත්වා ගැනීම සඳහා ඔස්ට්‍රේලියාව විසින් ගනු ලබන ප්‍රයත්න මගින් අපේක්ෂිත ප්‍රතිපල ලැබී නොමැති බවත් පර්යේෂකයෝ පවසති.

එවැනි අභියෝගයක් හමුවේ දේශගුණ විපර්යාසයන් පාලනය කර ගැනීම උදෙසා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව තම පර්යේෂණය මගින් පෙන්නුම් කෙරෙන බව එම විද්‍යාඥයෝ කියා සිටිති.

මාහාබාධක කොරල්පරය ලෝකයේ විශාලතම ස්වාභාවික කොරල්පරයයි
ඡායාරූප ශීර්ෂ වැකිය, මහාබාධක කොරල්පරය ලෝකයේ විශාලතම ස්වාභාවික කොරල්පරයයි

'සාගර ජලය ගිනියම් වීමේ ප්‍රශ්නයෙන් බේරීම සඳහා ජීවීන්ට හැංගෙන්නට තැනක් නැතැයි ඕස්ට්‍රේලියානු ARC මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ටෙරී හියුජ්ස් පවසයි.

'කොරල්පරයේ අධිසංරක්ෂිත කලාපවල මාළු අල්ලන්න අවසර දුන්නොත් ජලය උණුසුම් වීම නිසා කොරල්පරයට සිද්ධ වෙන හානියට සමාන හානියක් එමගිනුත් සිද්ධ වෙනවා. කොරල්පරය යථාතත්වයට පත්වීමට හේතුවිය හැකි ගුණාත්මක ජලයක් එහි නැති බව අපේ පර්යේෂණයේ දී හෙළිවුනා. එවැනි තත්වයක් යටතේ කොරල්පර මැරීයාම නතර කිරීම සඳහා අපට රට වශයෙන් විසඳුමක් නැහැ. දැන් අපි ඉන්නේ දුෂ්කර අවස්ථාවක' ටෙරී හියුජ්ස් වැඩිදුරටත් සඳහන් කරයි.

විසිතුරු මසුන්ට අහිමිවෙන ලෝකය
ඡායාරූප ශීර්ෂ වැකිය, විසිතුරු මසුන්ට අහිමිවෙන ලෝකය

ජගත් දේශගුණ විපර්යාශයන්, ධීවර කටයුතු මෙන්ම ඕස්ට්‍රේලියානු ගොවිබිම් වලින් සාගරයට බැහැර කෙරෙන පොහොර සහ කෘෂි රසායන අපද්‍රව්‍ය ආදියත් මහාබාධක කොරල්පරය වැනසීමට හේතුවෙන බව විද්‍යාඥයෝ කලක පටන්ම පෙන්වා දී ඇත.