කුණු කන්දකට යටවී හතළිස් අටක් මරුට

වීඩියෝ ශීර්ෂ වැකිය, Ethiopia rubbish landslide

ඉතියෝපියාවේ අඩිෂ් අබබා අගනුවර අසල පිහිටි විශාල කුණු කන්දක් නාය යාමෙන් අඩුම තරමින් පුද්ගලයන් හතළිස් අට දෙනෙකුවත් මියගොස් ඇති බව බලධාරීහු පවසති.

පසුගිය සෙනසුරාදා (මාර්තු 11) රාත්‍රියේ හටගත් නාය යාමට හසු වූ පිරිසෙන් තවමත් දොළොස් දෙනකු පමණ අතුරුදහන්ව සිටින බව වාර්තා වේ.

කුණු කන්ද පාමුල ජීවත්වන වැසියෙකු කියා සිටියේ නාය යාම සිදුවන විට එකසිය පනස් දෙනෙකු පමණ නිවාස පේළියේ සිටි බවය.

නිවාස පේළියේ බොහෝ නිවෙස් මේ වන විට නාය ගිය විශාල කුණු කන්දට යටව තිබෙන අයුරු දැක ගත හැක.

කුණු කන්දකට යටවී හතළිස් අටක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, AP

දශක පහක පමණ කාලයක් පුරා ඉතියෝපියානු අගනුවරින් බැහැර කෙරෙන කැළිකසල එක්රැස් කිරීමට යොදා ගනු ලැබූ එම ප්‍රදේශයේ විශාල කඳු වශයෙන් කුණු ගොඩ ගැසෙමින් පැවතුණි.

අඩිෂ් අබබා අගනුවර බලධාරියෙකු AP පුවත් සේවයට පවසා තිබුනේ නාය යාමෙන් මියගිය පිරිස අතර කුඩා දරුවන් විශාල සංඛ්‍යාවක් සිටින බවය.

නාය යාමට හසුව මිය ගිය ප්‍රමාණය තවත් ඉහළ නගිනු ඇති බවට බලධාරීහු බිය පළ කරති.