'සයිටම්': ජනාධිපති සහ වෛද්‍ය නියෝජිතයන් අතර සාකච්ඡා

රජයේ වෛද්‍ය නිලධාරීන්

ඡායාරූප මූලාශ්‍රය, president.gov.lk

ඡායාරූප ශීර්ෂ වැකිය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහ රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කළහ

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් උද්ගතවී ඇති ගැටලු සහගත තත්වය නිරාකරණය කර ගැනීම සඳහා විශේෂ විද්වත් කමිටුවක් පත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

අදාළ කමිටුව මගින් ඊට සම්බන්ධ සියලු පාර්ශවවල අදහස් විමසා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රජයට නිර්දේශ ලබා දෙනු ඇතැයි ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ට්විටර් පනිවුඩයක දැක්වේ.

මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය මෙන්ම සෙසු පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු සම්බන්ධයෙන් ද අදාළ කමිටුවේ නිර්දේශ ලබා ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි..

Grey line
Grey line

අද (පෙබ.11) ජනාධිපති නිලනිවස වෙත පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහ රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කළහ.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලු සහගත තත්වයට විසඳුම් ලබාදීම සඳහා සැලකිල්ලට ගතයුතුව ඇතැයි අදහස් කරන යෝජනා මාලා දෙකක් රජයේ වෛද්‍යවරුන් විසින් ජනාධිපතිවරයාට භාර දෙනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය.

පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුවලට විසඳුම් ලබාදීමේදී ඊට අදාළ සියලුම පාර්ශවයන් වෙතින් මෙන්ම රටේ අනෙකුත් ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන්ගේ ද යෝජනා හා නිර්දේශ සැලකිල්ලට ගැනීමට තමා අදහස් කරන බව ජනාධිපතිවරයා වෛද්‍ය සංවිධාන නියෝජිතයන්ට දැනුම් දුන්නේය.