ට්‍රම්ප්ට ආරාධනා කිරීමෙන් රැජින 'අපහසු තත්වයක'

"එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු බලයට පත්වී වසරක් ගතවීමට පෙර බ්‍රිතාන්‍යයේ 'රාජ්‍ය සංචාරයකට' ආරාධනා කිරීම පෙර නොදුටුවිරූ දෙයක් "

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු බලයට පත්වී වසරක් ගතවීමට පෙර බ්‍රිතාන්‍යයේ 'රාජ්‍ය සංචාරයකට' ආරාධනා කිරීම පෙර නොදුටුවිරූ දෙයක් "

බ්‍රිතාන්‍ය අගමැතිනිය විසින් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට 'රාජ්‍ය සංචාරයක්' සඳහා ආරාධනා කරනු ලැබීම මගින් බ්‍රිතාන්‍ය මහ රැජින 'ඉතා අපහසු තත්වයකට' පත්කර ඇති බව බ්‍රිතාන්‍යයේ හිටපු බලධරයෙක් පවසයි.

බීබීසීයට අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශයේ හිටපු ස්ථිර ලේකම් රිකිට්ස් සාමිවරයා තවදුරටත් කියා සිටියේ ජනාධිපති ට්‍රම්ප්ට මෙතරම් හදිසියේ ආරාධනාකිරීම පිළිබඳව තමා මවිතයට පත්වූ බවය.

රාජකීය පිළිගැනීමක්

එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු බලයට පත්වී වසරක් ගතවීමට පෙර බ්‍රිතාන්‍යයේ 'රාජ්‍ය සංචාරයකට' ආරාධනා කිරීම පෙර නොදුටුවිරූ දෙයක් බව රිකිට්ස් සාමිවරයා පැවසීය.

සාමාන්‍ය නිල සංචාරයකට වඩා රාජකීය පිළිගැනීමක් රාජ්‍ය සංචාරයකදී ලැබෙන අතර එහිදී රටට පැමිණෙන නායකයා මහ රැජින විසින් පිළිගනු ලැබීම අනිවාර්ය වෙයි.

ජනපති ට්‍රම්ප්ගේ සංචාරය අවලංගු කරන ලෙස ඉල්ලා සිටින පෙත්සමට අත්සන් තැබූ බ්‍රිතාන්‍ය වැසියන්ගේ සංඛ්‍යාව මේවනවිට (ජන.31) ලක්‍ෂ දහසය දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතරතුර ජනපති ට්‍රුම්ප්ගේ 'රාජ්‍ය සංචාරයට' සහයෝගය දක්වමින්ද පෙත්සමක් ඉදිරිපත්වී ඇති අතර ඊට ලැබී ඇත්තේ අත්සන් 70,000ක් පමණි.