ට්‍රම්ප්ගේ විධායක නියෝගය අධිකරණය අත්හිටුවයි

වීඩියෝ ශීර්ෂ වැකිය, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ තහනම් නියෝගයට විරෝධය පාමින් දහස් ගණන් ජනතාව ඇමරිකානු ගුවන්තොටුපොළවල් ඉදිරිපිට රැස්වූ අතර ජනාධිපතිවරයා විසින් ගෙනයන සංක්‍රමණික විරෝධී දැඩි ප්‍රතිපත්තිය ඔවුන්ගේ හෙලා දැකීමට ලක්විය.

ඇමරිකානු ගුවන්තොටුපොළ කිහිපයක රඳවාගෙන සිටින සංක්‍රමණිකයන් හෝ වීසා බලපත් සහිත පිරිස් පිටුවහල් කිරීමට ජනාධිපති ට්‍රම්ප් දුන් නියෝගය එරට අධිකරණයක් විසින් තාවකාලිකව අත්හිටුවනු ලබයි.

රටවල් හතක පුරවැසියන්ට ඇමරිකාවට ඇතුලුවීම තහනම් කෙරෙන විධායක නියෝගයක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය සිකුරාදා රාත්‍රියේ අත්සන් කරනු ලැබුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු ගුවන්තොටුපොළ කීපයක මගීන් 100ත් 200ත් අතර පිරිසක් රටට ඇතුලුවීම වළකාලමින් රඳවා ගෙන සිටිති.

මෙම පිරිස අතර එක්සත් ජනපදය හරහා වෙනත් රටවලට ගමන් ගන්නා මගීන්ද සිටිති.

තහනම් නියෝගයට විරෝධය පාමින් දහස් ගණන් ජනතාව ඇමරිකානු ගුවන්තොටුපොළවල් ඉදිරිපිට රැස්වූහ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ජනාධිපතිවරයාගේ විධායක නියෝගය තාවකාලිකව අත්හිටුවීම සඳහා නිව්යෝර්ක් ප්‍රාන්ත අධිකරණය නියෝග කළේ 'ඇමරිකන් සිවිල් ලිබරේට් යූනියන්' සංවිධානය විසින් ගොනු කරනු ලැබූ පැමිණිල්ලක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි.

මේ අතරතුර, ගුවන්තොටුපොළ තුළ රඳවා සිටින මගීන්ට රට තුළට පැමිණීමට ඉඩලබා දෙන මෙන් බල කරමින් ගුවන්තොටුපොළ ඉදිරිපිටට රැස්වූ දහස් ගණන් ජනතාව උද්ඝෝෂණයක නිරත විය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ගෙනයන සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්තිය, තහනම් නියෝගයට විරෝධය පෑ දහස් ගණන් උද්ඝෝෂකයන්ගේ දැඩි හෙලා දැකීමට ලක් විය.

මාධ්‍ය හමුවකට එක්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ජනාධිපතිවරයාගේ විධායක නියෝගයට අනුව ඇමරිකා සරණාගත සේවා ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නවතා දැමුණු අතර දින අනූවක කාලයක් සඳහා ඉරානය, ඉරාකය, ලිබියාව, සෝමාලියාව, සුඩානය, සිරියාව සහ යේමනය යන රටවල වැසියන්ට ඇමරිකාවට ඇතුළු වීම සපුරා තහනම් කෙරිණි.

කෙසේ වෙතත් ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ සිය විධායක නියෝගය මනාව ක්‍රියාත්මක වන අතර ගුවන්තොටුපොළ පවතින තත්වය ඊට සාක්ෂි සපයන බවය.