බර්ලින් ප්‍රහාරකයා සොයා යුරෝපා මෙහෙයුමක්

ජර්මානු රජය විසින් සැකකරු 'ආනිස් අම්රි'ගේ ඡායාරූප මාධ්‍යයට නිකුත් කරනු ලැබ තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, BKA / HANDOUT

ඡායාරූප ශීර්ෂ වැකිය, ජර්මානු රජය විසින් සැකකරු 'ආනිස් අම්රි'ගේ ඡායාරූප මාධ්‍යයට නිකුත් කරනු ලැබ තිබේ.

ජර්මනියේ බර්ලින් අගනුවර නත්තල් වෙළඳපොළ ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන 'ආනිස් අම්රි' නමැති පුද්ගලයෙකු සෙවීමේ මෙහෙයුම් එරට පොලිසිය විසින් ආරම්භ කරනු ලැබ තිබේ.

බර්ලින් සහ ඩොර්ට්මන්ඩ් නගර ඉලක්ක කරගෙන මෙම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කොට ඇති අතර නෙදර්ලන්ත දේශ සීමාවේ පිහිටි සංක්‍රමණික කඳවුරක් ද සෝදිසි කිරීමට ලක් කර තිබේ.

පසුගිය සඳුදා ට්‍රක් රථයක් නත්තල් වෙළඳපොළක් තුළට ධාවනය කිරීමෙන් දොළොස් දෙනෙකු ඝාතනය කරමින් තවත් හතළිස් අට දෙනෙකුට තුවාල සිදු කළ ප්‍රහාරයෙන් පසු අදාළ සැක කරු පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා යුරෝපය පුරා වරෙන්තු නිකුත් කොට ඇති බව වාර්තා වේ.

GERMAN INTERIOR MINISTRY

ඡායාරූප මූලාශ්‍රය, GERMAN INTERIOR MINISTRY

තුනීසියානු ජාතික සැක කරුගේ සොහොයුරා ජර්මානු පොලිසියට සිය සහයෝගය පළ කොට ඇති අතර ප්‍රසිද්ධ නිවේදනයක සිය සහෝදරයාගෙන් පොලිසියට භාරවන ලෙස ඉල්ලීමක් කොට තිබේ.

'ආනිස් අම්රි' මින් පෙර අපරාධ කීපයකට අධිකරණය ඉදිරියේ වරදකරුවකු බව ඔප්පු කරනු ලැබූවකුවන අතර ඔහු විසින් අන්තගාමී ඉස්ලාම් අනුගාමිකයන් සමග පවත්වාගෙන ගිය සුහද ඇසුර හේතුවෙන් ජර්මානු බලධාරීන්ගේ දැඩි අවධානයට ද ලක්ව සිටි පුද්ගලයෙකි.

ප්‍රහාරයට ලක් වූ නත්තල් වෙළඳපොළ දැඩි ආරක්ෂාව යටතේ නැවත විවෘත කිරීමට රජය පියවර ගෙන තිබේ.