ඉන්දියාවේ අධිවේගී මාවත්වල මත්පැන් වෙළෙඳසැල් තහනම්

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg
මත්පැන් පානය කරමින් රිය පැදවීම සහ එමගින් සිදුවෙන මාර්ග අනතුරු අඩුකිරීමේ උත්සාහයක් වශයෙන් ඉන්දියාවේ ප්‍රාන්ත සහ ජාතික මහාමාර්ගවල පිහිටුවා ඇති සියලුම මත්පැන් වෙළඳසැල් වසාදමන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගකර ඇත.
ප්‍රාන්ත සහ ජාතික මහාමාර්ගවල අලුතින් මත්පැන් වෙළඳසැල් ආරම්භ කිරීමට බලපත් නිකුත්කිරීමෙන් වළකින මෙන් ආණ්ඩුවට දැනුම්දෙන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනට තිබෙන මත්පැන් වෙළඳසැල් සඳහා බලපත්‍ර දීර්ඝ කිරීම ලබන මාර්තු මාසයේ තිස් එක් වෙනිදාට පසුව නතර කරන ලෙසද උපදෙස් දී ඇත.
ඉන්දියාවේ පසුගිය වසරේ සිදු වූ රථවාහන අනතුරුවලින් එක්ලකෂ හතලිස් හයදාකට අධික පිරිසක් මරණයට පත්ව ඇති බව සංඛ්‍යා ලේඛනවල සඳහන් වේ.
එම මාර්ග අනතුරු මරණවලින් සියයකට පහක්, එසේ නැත්නම් පුද්ගලයන් හයදහස් හත්සිය පනස්පස් දෙනෙකුගේ මරණ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය නිසා සිදු වූ අනතුරු හේතුවෙන් මියගිය බව ඒම ලේඛනවල වැඩිදුරටත් සඳහන් වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ප්‍රාන්ත සහ ජාතික මහාමාර්ගවල මත්පැන් අලෙවිය නතර කළයුතු බව ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයට නායකත්වය දුන් අගවිනිසුරු ටීඒස් තාකුර් ප්‍රකාශ කළබව AFP මාධ්‍ය ආයතනය පවසයි.
මහාමාර්ග ඔස්සේ පිහිටුවා ඇති මත්පැන් ප්‍රචාරක දැන්වීම් පුවරු ඉවත් කළයුතු බව කියාසිටින ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, මත්පැන් වෙළඳසැල් මහාමාර්ගයේ සිට මීටර් පන්සියයක් ඈතින් පවත්වා ගතයුතු බවත් කියා සිටියි.
ඉන්දියාවේ ගුජරාට්, බිහාර්,මනිපූර් සහ නාගලන්ත වැනි ප්‍රාන්තවල මත්පැන් තහංචියක් බලපැවැත්වෙන අතර, දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මත්පැන් විකුනීම සම්බන්ධයෙන් අර්ධ තහනමක් පනවා ඇත.




