'BREXIT' වෙළඳ සාකච්ඡා දික්ගැසෙයි

"බ්‍රෙක්සිට් එකඟතාවට වසර 10ක් ගතවිය හැකියි"

ඡායාරූප මූලාශ්‍රය, PA

යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසු බ්‍රිතාන්‍යය සහ යුරෝපා හවුල අතර වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට අඩුම තරමින් බ්‍රිතාන්‍යයට තවත් අවුරුදු දහයක කාලයක් ගතවිය හැකි බව යුරෝපා හවුලේ පෙනී සිටින බ්‍රිතාන්‍ය තානාපතිවරයා පවසයි.

2020 දී පමණ බ්‍රිතාන්‍යය සමග නව වෙළඳ එකඟතාවකට පැමිණෙනු ඇති බව යුරෝපා සංගමයේ විශ්වාසයවන බව ශ්‍රීමත් අයිවන් රොජර්ස් රජයේ අමාත්‍යවරුන්ට රහසින් අනතුරු අඟවා ඇතැයි බීබීසියට තොරතුරු වාර්තා විය.

බ්‍රිතාන්‍යය ජනමත විචාරණයෙන් පසු යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍යය රැඳී සිටිය යුතු බවට සිය ඡන්දය ප්‍රකාශ කළ කඳවුර වීදි බස සිය විරෝධතාව දැක්වීය.

එපමණක් නොව එතරම් කාලයක් ගත වීමෙන් අනතුරුව ද බ්‍රිතාන්‍ය ඉදිරිපත් කරන කොන්දේසි ඇතුළත් වෙළඳ ගිවිසුමකට යුරෝපා හවුලේ අනෙකුත් සාමාජික රටවල පාර්ලිමේන්තු සිය විරෝධය පළ කිරීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවද යුරෝපා හවුලේ පෙනී සිටින බ්‍රිතාන්‍ය තානාපතිවරයා ප්‍රකාශ කොට තිබේ.

යුරෝපා සංගම් නීතියට සාමාජික නොවන රටක් ඉදිරිපත් කරන වෙළඳ ගිවිසුමක් යුරෝපා සංගමයේ අනෙකුත් සියලුම රටවල් සිය පාර්ලිමේන්තුව තුළ විවාදයට ලක් කොට සම්මත කළ යුතු වේ.

ඒ අනුව බ්‍රිතාන්‍යය සකසන වෙළඳ ගිවිසුම දීර්ඝ කාලයක් මුළුල්ලේ සියලුම යුරෝපා සංගම් සාමාජික රටවල් තුළ විවාදයට ලක්වනු ඇති අතර ශ්‍රීමත් අයිවන් රොජර්ස් පෙන්වා දෙන්නේ එතරම් කාලයක් ගිවිසුම් කොන්දේසි බලවත්ව පවත්වාගෙන යාම ඉතා අපහසු කාර්යයක් වනු ඇති බවය.

"බ්‍රෙක්සිට් එකඟතාවට වසර 10ක් ගතවිය හැකියි"

අනෙකුත් යුරෝපා සංගම් රටවල් 'බ්‍රෙක්සිට්' වෙළඳ ගිවිසුම තුළින් බලාපොරොත්තු වන්නේ හුදෙක් බ්‍රිතාන්‍ය සමග නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කරගැනීම විනා යුරෝපා ඒකීය වෙළඳ කලාපයේ බ්‍රිතාන්‍යයට රැඳීමට ඉඩ දීම නොවන බව තානාපතිවරයා ප්‍රකාශ කළ බවද බීබීසියට තොරතුරු ලැබී තිබේ.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය ප්‍රකාශයක් කරමින් කියා සිටියේ යුරෝපා හවුලේ පෙනී සිටින බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් අයිවන් රොජර්ස් බ්‍රිතාන්‍ය ස්ථාවරය සහ දැක්ම නොසලකා හරිමින් අනවශ්‍ය ලෙස අනෙකුත් යුරෝපා සංගම් සාමාජික රටවල් දරන මතය සැලකිල්ලට ගෙන ඇති බවය.