මහින්ද ශ්‍රීලනිප නායකයා කරන්න - පෙත්සමක්

වත්මන් නායකයා සහ හිටපු නායකයා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස පත්කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස පත්කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් පිළිබඳව පක්ෂ සාමාජිකයින් දැනුවත් කිරීමේ නොතීසියක් ප්‍රසිද්ධියට පත්කිරීමට කොළඹ දිසා අධිකරණය අවසර දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ථ ලංකා කාරක සභාවේ සාමාජිකයන් දෙදෙනකු විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

ජනපතිවරණය

එම පෙත්සම කැඳ වූ අවස්ථාවේ ප්‍රකාශයක් කළ පැමිණිලිකාර පාර්ශවය, මෙම නඩුව පිළිබඳව පක්ෂ සාමාජිකත්වය දැනුවත් කිරීමේ නොතීසියක් ජනමාධ්‍යවල ප්‍රකාශයට පත්කිරීමට අවසර දෙන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට විරෝධය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පදනම් විරහිත කරුණු මත ගොනුකර ඇති බැවින් විභාගයට නොගෙනම එම පෙත්සම ප්‍රතික්ෂේප කරන මෙන් ඉල්ලීමක් කළේය.

එහෙත් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

පැමිණිලිකාර පාර්ශවය විසින් අදාළ නොතීසිය පළකිරීමෙන් අනතුරුව විත්ති පාර්ශවයේ විරෝධතා පිළිබඳව සලකා බලන බව ප්‍රකාශ කළ අධිකරණය, නඩු විභාගය පෙබරවාරි මස 20 වැනි දිනට කල් තැබුවේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවූ බැවින් ඔහුට පක්ෂයේ සභාපති ධුරය දැරීමට කිසිදු සුදුසුකමක් නැතැයි පැමිණිලිකරුවෝ තර්ක කරති.