ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හිත ඇත්නම් පත කුඩාද?- ඔටාරා ගුණවර්ධන
අධිෂ්ඨානය සහ කැපවීම තිබෙන්නේ නම් සිය අරමුණ කරා යා හැකි බව ශ්‍රී ලංකාවේ සියලුම කාන්තාවන්ට වටහා දිය යුතු බව 'ඔඩෙල්' සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරිය, ඔටාරා ගුණවර්ධන පවසන්නීය.
සමාජයේ ඉදිරියට යාම සඳහා පුරුෂයන්ට පමණක් නොව කාන්තාවන්ටද සාධාරණ අවස්ථා තිබිය යුතු බව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහලටම නැගීමට සමත් වූ ඇය අවධාරණය කරන්නීය.
"පිරිමි පාර්ශවය විතරක් නෙමෙයි කාන්තාවනුත් දියුණු වුනාම රටත් තව හොඳට දියුණු කරන්න පුළුවන්."
ඔටාරා ගුණවර්ධන ඒ බව සඳහන් කළේ 'සියයක් කාන්තාවෝ; ලොවින් අඩකට හඬක්' (100 Women) වැඩසටහන වෙනුවෙන් බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි. (සම්පූර්ණ සාකච්ඡාවට සවන්දෙන්න)
වසර තිහකට ආසන්න කාලයක් ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිරතව සිටියදී කාන්තාවක වීම හේතුවෙන් තමන්ටත් බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වූ බව පෙන්වාදෙන ඇය, ඉලක්කයක් තිබෙන්නේ නම් සහ ඒ සඳහා කැපවන්නේ නම් ඒ අරමුණ සාක්ෂාත් කරගත හැකි බව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වටහාදීම සිය අභිප්‍රාය බවත් සඳහන් කළාය.
Orange the World
කාන්තා අයිතීන් උදෙසා එක්සත් ජාතීන් දියත් කරන 'Orange the World' වැඩසටහනට සහාය දැක්වීමට ඇය ඉදිරිපත්වීමත් සමග ලබන වසරේ පැවැත්වීමට නියමිත කාන්තාවන්ගේ අයිතීන් සම්බන්ධ ජාත්‍යන්තර වැඩමුළු දෙකකට සහභාගි වන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇයට නිල වශයෙන් ආරාධනා කර තිබේ.
"මට කැමතියි කාන්තාවන්ට සහයෝගය දෙන්න. ඒ ඇයට කියන්න ඔවුන්ටත් තමන්ට කැමති දෙයක් කරන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම කරන්න පුළුවන්," ඇය පැවසීය.
ව්‍යාපාරික කාන්තාවන් උදෙසා වූ ගෝලීය ආයතනයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම පිණිස තාක්ෂණික සහාය ලබාදීමට සූදානම් බවත් 'UN Women' සංවිධානය ඇයට දැනුම් දී තිබේ.
ඉහළ පෙළ ව්‍යාපාරික කාන්තාවක වශයෙන් ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමට ලක් වී සිටින ඔටාරා ගුණවර්ධන, වර්තමානයේ කාන්තා සහ සත්ව අයිතීන් වෙනුවෙන් හඬ නගන ක්‍රියාධාරිනියක ලෙසින් ද ක්‍රියාකරමින් සිටියි.
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ශ්‍රී ලාංකීය සමාජයේ බරපතල ප්‍රශ්නයක්ය යන්න බැහැර කළ යුතු නැති බවත් ඇය පවසන්නීය.
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය
"ඉතින් මම හිතන්නේ එයාලට ඒ ප්‍රශ්න විසඳන ආකාරය කියල දෙන්න, වෙනසක් කරන්න පුළුවන් කියල එයාලට පෙන්නන්න. ඒ වගේ සහයෝගයක් දෙන්න පුළුවන් නම් එක ගොඩක් හොඳයි," ඔටාරා ගුණවර්ධන සංදේශයට පැවසීය.
මහමගදී, වැඩපොළේදී, දුම්රියේදී, බස් රථයේදී සහ ඇතැම්විට සිය නිවසේදීත් ශ්‍රී ලාංකීය කාන්තාව නිරන්තරයෙන් ලිංගික හිංසනයට ගොදුරුවීම පිළිබඳව සංදේශය විමසූ අවස්ථාවේ ඇය කියා සිටියේ, එම තත්වය වහාම වෙනස් කළ යුතු බවයි.
"කාන්තාවන්ට පමණක් නොවෙයි, පුරුෂයන්ට, දරුවන්ට හැමෝටම බයක් නැතිව එහෙ මෙහෙ යන්න හැකියාව තියෙන්නම ඕන. එතකොට තමයි අපේ රටත් තව දියුණු වෙන්නේ."
ශ්‍රී ලාංකීය සමාජයේ කාන්තාව එතරම් දුෂ්කර වාතාවරණයකට මුහුණදෙමින් සිටියදී, රටේ සාර්ථකම ව්‍යාපාරික කාන්තාවක් බවට පත්වීමට සමත් වූයේ කෙසේදැයි සංදේශය කළ විමසීමට පිළිතුරු දුන් ඔටාරා ගුණවර්ධන, අධිෂ්ඨානය හැරුණු විට ආරම්භයේදී තමන්ට කිසිදු විශේෂ හැකියාවක් හෝ පහසුකමක් නොතිබුණු බව අවධාරණය කළාය.
"ව්‍යාපාරය කරද්දී දන්නේ නැති දේවල් මට ඉගෙනගන්න වුනා. මට ගොඩක් අමාරුකම් තිබුණා. සල්ලි නැතිවුනා."
ඇතැම් අවස්ථාවල බැංකු ණය පවා ගෙවාගත නොහැකිව තමන් අති දුෂ්කර වාතාවරණයකට මුහුණ දුන් බව ඔඩෙල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘවරිය සිහිපත් කරන්නීය.
"මම කවදාවත් හිතන්නේ නෑ මම ඔක්කොම දන්නවා කියලා. මම හැමදාම ඉගෙනගන්න කැමතියි," ඇය නිහතමානීව සඳහන් කළාය.
"ඇත්තට මම කියන්න කැමතියි කවුරුත් මොනවත් දන්නේ නැති වුනත් දෙයක් කරන්න පුළුවන් කියල. මට පුළුවන් නම් ඕනේ කෙනෙකුට ඒ දේ කරන්න පුළුවන්."