"ජනාධිපති ධුරයෙන් ඉවත් වෙන්න කැමතියි"

දකුණු කොරියානු ජනාධිපතිනී පාක් ගුන් හෙයි සිය ධුරයෙන් ඉවත් වීමට මගක් සලසා දෙන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.

පෞද්ගලික වාසිය තකා දේශපාලන තීන්දු තීරණ ගැනීමේ දී තමාට අනවශ්‍ය ලෙස බලපෑම් කිරීමට සිය මිතුරියකට ඉඩ දී තිබේ දැයි සොයා බැලීමට ආරම්භ කළ පරීක්ෂණයක් හේතුවෙන් ජනාධිපතිනියට ධුරයෙන් ඉවත් වන ලෙස බල කෙරෙන විරෝධතා මාලාවක් දියත් කෙරිණ.

දින ගණනාවක් පුරා සෝල් අගනුවර පැවති විරෝධතා වලට එක් වූ දකුණු කොරියානු ජනතාව ඉල්ලා සිටියේ ජනාධිපතිනියට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසයි.

සිය දේශපාලන ජීවිතයේ අනාගතය පාර්ලිමේන්තුවට භාර කරමින් සිය ධුරයෙන් ඉවත් වීමට කැමැත්ත ප්‍රකාශ කළ දකුණු කොරියානු ජනාධිපතිනිය රට තුළ බල අරගලයක් ඇති වීමට ඉඩ තබා ඉවත් වීමට තමන් අකමැති බව ප්‍රකාශ කළාය.

ඒ අනුව ජනාධිපතිනී පාක් ගුන් හෙයිට එරෙහිව ද්‍යෝෂාභියෝගයක් ගෙන එනවාදැයි තීරණය කිරීමට එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වීමට නියමිතය.

දකුණු කොරියාවේ පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් පවසන්නේ දෝෂාභියෝගයකට මුහුණ දීමෙන් තොරව ජනාධිපතිනිය ගෞරවය රැකගෙන පදවියෙන් ඉවත් විය යුතු බවය.

කෙසේ වෙතත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිනියගේ මෙම පියවර හෙලා දකිමින් කියා සිටියේ ඇය දෝෂාභියෝගයට මුහුණ දීමෙන් වැළකී සිටීමට උත්සාහ දරන බවය.

සිය හිතවතියක වන චෝයි සූන්ස්ලී ට ජාතිය ඇමතීමට තමන් විසින් සකස් කරනු ලැබූ කතාවල පිටපත් කියවීමට දුන් බව මින් පෙර ජනාධිපතිනිය විසින් පිළිගනු ලැබූ අතර කොරියානු ජනතාවගෙන් සමාව ඉල්ලා සිටි ඇය ධුරයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කළාය.

චෝයි සූන්ස්ලී විසින් ජනාධිපතිනියට බලපෑම් සිදු කරන බවට වාර්තා පළ වීමෙන් පසු තමන් සහ ජනාධිපතිනිය අතර පවතින සම්බන්ධය ඔප්පු කළ හැකි සාක්ෂි සියල්ල විනාශ කිරීමට ඇය උත්සාහ කොට ඇති බවටත් තොරතුරු හෙළි විය.

දකුණු කොරියානු බැංකු වලින් ණය සහ දීමනා ලබා ගැනීමට රටේ ජනාධිපතිවරිය සමග පැවති මිතුදම අයුතු ලෙස භාවිතා කරනු ලැබ ඇති බවටත් චෝයි සූන්ස්ලී ට චෝදනා එල්ල වී ඇත.