චීන වෙළඳපළට ඇතුල්වීමට ෆේස්බුක් වෙතින් නව උපක්‍රමයක්

Facebook

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, මාර්ක් සකබර්ග් මෑතකදී චීන ජනාධිපතිවරයා හමුවී ඇති අතර චීන භාෂාවද හදාරමින් සිටින බවයි වාර්තා වන්නේ.

නිශ්චිත භූමි ප්‍රදේශවල ජනතාව විසින් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවල පළ කරනු ලබන තොරතුරු යටපත්කිරීම සඳහා විශේෂ මෘදුකාංගයක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය නිපදවමින් සිටින බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පවසයි.

පුවත්පත වාර්තාකරන ආකාරයට එම නව ක්‍රමවේදය නිර්මාණය කළ ෆේස්බුක් සමාගමේ පෙර හා වර්තමාන සේවකයන් පවසන්නේ චීනයේ වෙළඳපල ඉලක්ක කරමින් මෙම විශේෂ පහසුකම ඉදිරිපත්කෙරෙන බවය.

එවැනි මෘදුකාංගයක් නිෂ්පාදනය කර තිබේද නැත්ද යන්න සනාථ කිරීම ප්‍රතික්‍ෂේප කළ ෆේස්බුක් සමාගම චීනය පිළිබඳව අධ්‍යයනය කිරීමට සහ තේරුම් ගැනීමට කාලය ගතකරමින් සිටින බව ප්‍රකාශ කළේය.

එම සමාගමේ සේවකයන් පවසන්නේ අදාළ මෘදුකාංගය චීන වෙළඳපල සම්බන්ධයෙන් ඉදිරිපත් වූ බොහෝ අදහස් වලින් එකක් පමණක් වන අතර සාර්ථක එකක් නොවියහැකි බවය.