ට්‍රම්ප් හිලරි විවාදය: පෞද්ගලික ප්‍රහාර මුල් තැනට
ලොව වැඩිම ජනතාවක් නරඹනු ලැබූ දේශපාලන විවාදය වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන්ගේ ජනාධිපතිවරණ පළමු විවාදයෙන් පසු 09 වෙනිදා රාත්‍රියේ ඔවුන්ගේ දෙවන විවාදයත් පැවැත්විය.
දේශපාලන මෙන්ම පෞද්ගලික ජීවිතයේ ගුණ අගුණ මුල් කර ගනිමින් ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගත් අතර පැවතියේ ඉතාමත් උණුසුම් විවාදයක්.
විවාදය මෙහෙයවන්නකු විසින් මින් වසර එකොළහකට පෙර කාන්තාවන්ට ලිංගික හිරිහැර කිරීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශ පිළිබඳ පසු ගියදා නිකුත් වූ වීඩියෝ පටය ගැන ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු කියා සිටියේ මේ වන විටත් තමන් ඒ වෙනුවෙන් සමාව ඉල්ලා ඇති බවයි.
කරට කර සටනක්

එළඹෙන නොවැම්බර් අට වෙනි දින පැවැත්වීමට නියමිත ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරණයෙන් ධවල මන්ධිරයේ බලය හිමි කර ගන්නේ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ද නැතහොත් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ද යන්න තවමත් පවතින්නේ ඉතාමත් අවිනිශ්චිත තත්වයකයි.
බීබීසි ජන මත විමසුම් අනුව මේ වන විට ජනප්‍රියතාව අතින් ඩොනල්ඩ් ට්‍රම්ප් 44%ක සහ හිලරි ක්ලින්ටන් 48%ක කඩ ඉම් වලයි පසු වන්නේ.
බීබීසිය විසින් මෙම අනාවැකි ගණනය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ මෑත කාලීනව පවත්වනු ලැබූ ජාතික ජනමත විමසුම් සමීක්ෂණ පහක ප්‍රතිපල සංසන්දනය කිරීමෙනි.
විවාදයේ උණුසුම් අවස්ථා එකතු කොට සැකසූ හඬ පටයට සවන් දෙන්න.