මියන්මාරයට එරෙහි වෙළඳ සම්බාධක ඉවත්කෙරෙයි

Myanmar's Aung San Suu Kyi and President Barack Obama speak to the press at the White House

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, සැප්තැම්බර් මාසයේ ඇමරිකාවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඔබාමා සහ අවුන් සාන් සුචී අතර හමුව පැවැත්වුණි

මියන්මාරයේ රාජ්‍ය උපදේශිකා අවුන් සාන් සුචී සමග පැවති හමුවෙන් පසු කලයක් තිස්සේ මියන්මාරයට එරෙහිව පැවති ඇමරිකානු සම්බාධක ජනාධිපති බරක් ඔබාමා විසින් ඉවත්කරනු ලැබ තිබේ.

දෙදෙනා අතර පැවති හමුවෙන් සති කිහිපයකට පසු ඇමරිකානු ජනාධිපතිවරයා විසින් විධායක නිවේදනයක් නිකුත් කරමින් මෙය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අඩු සංවර්ධිත රටක් ලෙස මියන්මාරයට වෙළඳ වාසි ලබාගැනීමට තිබූ හැකියාව 1989 දී නවතා දමනු ලැබුවේ එරට රජය විසින් සිදුකරන ලදැයි කියැවුණු මානව හිමිකම් කඩකිරීම් හේතුවෙනි.

එහෙත් ධවල මන්දිරය ප්‍රකාශ කළේ මියන්මාරය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කිරීමෙන් ඇඟවෙන්නේ එරට තවදුරටත් ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවයි.

Myanmar workers preparing corn for drying in a field during the harvest in Naypyitaw, Myanmar,

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, මියන්මාරයේ හමුදා පාලනය පැවති සමයේදීය සම්බාධක පනවා තිබුණේ

මේ අනුව අසාදු ලේඛන ගතවූ සමාගම් 100 ක් සහ පෙර පැවති හමුදා පාලනය සමග පෞද්ගලික සම්බන්ධතා පැවති පුද්ගලයන් බොහොමයකට එරෙහිව පැවති වෙළඳ සීමා ඉවත්කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

එහෙත් පුද්ගලයන් කිහිප දෙනෙකුට එරෙහිව පවතින සම්බාධක ඉවත් නොකෙරෙනු ඇත.

1962 වසරේ සිට 2011 වසර දක්වා මියන්මාරය පාලනය කළේ බලය අල්ලාගත් හමුදා පාලනයක් විසින්.

එවකට විරුද්ධ පක්ෂ නායිකාව වූ අවුන් සාන් සුචී වසර 15 ක් සිරගත කොට තැබුණු අතර 2015 පැවති මැතිවරණයෙන් ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගය ජයග්‍රහණය ලැබීය