‘යාහූ’ සමාගම විද්‍යුත් තැපැල් පණිවුඩ සෝදිසියක

ඇමෙරිකානු බුද්ධි අංශයේ ඉල්ලීමක් අනුව එය සිදු කෙරෙන බවයි පැවසෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමෙරිකානු බුද්ධි අංශයේ ඉල්ලීමක් අනුව එය සිදු කෙරෙන බවයි පැවසෙන්නේ.

'යාහූ'(Yahoo) අන්තර්ජාල සමාගම සිය විද්‍යුත් තැපැල් අංශයේ ගනුදෙනුකරුවන්ගේ ගිණුම් දශ ලක්ෂ ගණනක් රහසිගතව පිරික්සා ඇති බවට තොරතුරු ලැබෙමින් පවතී.

ඇමරිකානු ආණ්ඩුව වෙනුවෙන් එම සෝදිසි කිරීම සිදු කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි රහස්‍ය ඉල්ලීමක් ඉටු කරනු ලැබීම සඳහා 'යාහූ' සමාගම විශේෂ මෘදුකාංගයක් පවා නිර්මාණය කර ඇත.

එහෙත් ඇමෙරිකානු බුද්ධි අංශ නිලධාරීන් කවර තොරතුරු සම්බන්ධයෙන් උනන්දු වීද යන්න තවමත් පැහැදිලි නැත.

ඇමෙරිකානු බුද්ධි අංශ වලට උවමනා වේ තිබෙන්නේ 'යාහූ සමාගම ලවා 'සංකේත පද්ධතියක්' සෝදිසි කිරීමයි.

විද්‍යුත් තැපැල් මගින් යවන ලියැවිල්ලක් හෝ එවැනි ලියැවිල්ලකට අමුණා යවන පණිවුඩයක් එහි තේරුම විය හැකි බවයි රොයිටර් පුවත් සේවය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් බීබීසියට ප්‍රකාශයක් කරමින් 'යාහූ' අන්තර්ජාල සමාගම කියා සිටියේ තමන් නීතියෙන් බැඳුන ව්‍යාපාරයක් වන බවයි.

ඒ අනුව තමන් එක්සත් ජනපද නීතියට බැඳී ඇති බවයි එම අන්තර්ජාල සමාගම පවසන්නේ.