ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පෙරේස් අවමඟුල: ලෝක නායකයන් අතර පලස්තීන නායකයාත්
ඊශ්‍රායලයේ ආරම්භක පීතෘවරුන්ගේ අන්තිමයා ලෙස සැලකෙන අභාවප්‍රාප්ත එරට හිටපු ජනාධිපති ෂිමොන් පෙරේස්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද සිදු කෙරුණි.
ජෙරුසලමේ සිදු වූ මෙම අවමංගල්‍ය උත්සවයට ලෝක නායකයන් හා සම්භාවනීය ද අමුත්තන් ද සහභාගී විය.
ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා අවමංගල්‍ය සභාව අමතමින් කියා සිටියේ, ෂිමොන් පෙරේස් තමාගේ සිහිනය සැබෑ කිරීම සඳහා ජීවිතය අවසන් වනතුරු කටයුතු කළ නමුත් ඔහුගේ සිහිනය තවමත් සැබෑ වී නැති බවයි.
පෙරේස්ගේ සිහිනය සැබෑ වුවහොත්, ඊශ්‍රායලය සහ අසල්වැසි පලස්තීනය අතර කල් පවත්නා සාමයක් ඇති වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර පෙරේස් ඊශ්‍රායලයට පමණක් නොව මුළු ලෝකයට ම ශ්‍රේෂ්ඨ මිනිසෙක් බවයි ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය අවමංගල්‍ය කතාවේ දී ප්‍රකාශ කළේ.
ෂිමොන් පෙරේස් ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අවමංගල්‍ය උත්සවයට පැමීණී සම්භාවනීය අමුත්තන් අතර පලස්තීනයේ නායක මොහමද් අබ්බාස් ද සිටි බවයි වාර්තාවන්නේ.