ෂිමොන් පෙරේස් අභාවප්‍රාප්ත වෙයි

Shimon Peres

ඡායාරූප මූලාශ්‍රය, BLAIR GABLE

ඡායාරූප ශීර්ෂ වැකිය, ආණ්ඩු දොළහක් යටතේ සේවය කර ඇති ෂිමොන් ඊශ්‍රායල න්‍යෂ්ඨික වැඩසටහනේ පියා ලෙසයි සැලකෙන්නේ.

දෙවතාවක් ඊශ්‍රායලයේ අගමැතිවරයා ලෙසත් එක් වතාවක් ජනාධිපතිවරයා ලෙසත් සේවය කළ එරට සිටි වඩාත් පරිණත දේශපාලනඥයෙකු වූ ෂිමොන් පෙරේස් අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඔහු 93 වැනි වියේ පසු විය.

1948 දී නව රටක් ලෙස ඊශ්‍රායලය ආරම්භවීමේ සිට වර්තමානය දක්වා එරට ජීවත්ව සිටි දේශපාලන පරපුරේ අවසාන සාමාජිකයෙකු ලෙසටයි ඔහු ගෞරවයට පාත්‍ර වී සිටියේ.

පලස්තීනයත් සමග සාම ගිවිසුමකට සාකච්ඡා පැවැත්වීමෙන් පසු 1994 දී ෂිමොන් පෙරේස් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය.

වරක් ඔහු පවසා තිබුණේ පලස්තීනුවන් ඊශ්‍රායලයේ 'වඩාත්ම සමීප අසල්වැසියන්' වන අතර 'වඩාත්ම කිට්ටු මිතුරන්' වීමේ හැකියාව ඇති බවයි.

ආණ්ඩු දොළහක් යටතේ සේවය කර ඇති ෂිමොන් ඊශ්‍රායල න්‍යෂ්ඨික වැඩසටහනේ පියා ලෙසයි සැලකෙන්නේ.

පෝලන්තයේ උපත ලද ෂිමොන් 1934 දී එවකට බ්‍රිතාන්‍ය පාලනයේ පැවති ඊශ්‍රායලයට සංක්‍රමණය වූවෙකි.