'සෝලා ටුක් ටුක් එකෙන්' බකිංහැම් මාලිගයට

Naveen Rabelli in Dover

ඡායාරූප මූලාශ්‍රය, PA

මාස හතක කාලයක් තුළ ඉන්දියාවේ සිට සැතපුම් 6,200 ක් ගෙවා සුර්ය බලශක්තියෙන් ධාවනය වන ත්‍රීරෝද රියකින් එක්සත් රාජධානියට පැමිණීමට ඉන්දියානු ඉංජිනේරුවරයෙක් සමත් වී සිටී.

තිස් පස් හැවිරිදි නවීන් රබෙල්ලි එක්සත් රාජධානියේ ඩෝවර් තොටුපළට පැමිණීමට සැලසුම් කළ කාලයට වඩා දින පහක් පමා වූයේ පැරීසියේ දී ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය සහ මුදල් පසුම්බිය කවුරුන් හෝ විසින් සොරකම් කළ බැවින්.

විදුලියෙන් සහ සුර්ය බලශක්තියෙන් දිවෙන රථ වාහන පිළිබඳව ලෝකයේ අවධානය යොමු කිරීම තම වික්‍රමාන්විත චාරිකාවේ අරමුණ බවයි ඔහු පවසන්නේ.

ඉන්දියාවේ ඉපැදුණු නවීන් දැනට ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වන අතර තම චාරිකාව බකිංහැම් මාලිගයෙන් අවසන් කිරීමටයි බලාපොරොත්තු වන්නේ.

Naveen Rabelli's tuk tuk in Dover

ඡායාරූප මූලාශ්‍රය, PA

තමා විසින්ම නවීකරණය කරගත් ත්‍රීරෝද රථයේ නිදන ඇඳක්, මගී ආසනයක්, සූර්ය බලශක්ති උදුනක් සහ ගමන අතර මග දී ඔහුව දිරිගන්වන්නන් විසින් දුන් අහාර වලින් පිරුණු කබඩ් එකක් යනාදිය අන්තර්ගතව තිබේ.

මේ ගමන පුරාම මග දෙපස සිටි පිරිස් තමාව දිරිමත් කරමින් උදව් කළ බවයි නවීන් පවසන්නේ.

"මිනිස්සු හරි කැමතියි ටුක් ටුක් එකට, ඒ ගොල්ලො ඇවිත් මේකෙ සෙල්ෆී ගත්ත. මේකට පෙට්‍රල් අවශ්‍ය නැහැ කියපුවම ඔවුන් පුදුම වුණා" යනුවෙන් ඔහු පැවසීය.

ඉන්දියාවේ බැංගලෝරයෙන් ගමන ආරම්භ කළ නවීන් නැව් මගින් ඉරානය ට පැමිණ එතැන් සිට තුර්කිය, බල්ගේරියාව, සර්බියාව, ඔස්ට්‍රියාව, ස්විස්ටර්ලන්තය, ජර්මනිය හා ප්‍රංශය හරහා එංගලන්තයට පැමිණියේය.

ඔහුට පැරීසියේ දී හදිසි විදේශ ගමන් පත්‍රයක් ලබාගැනීමට සිදුවුයේ වැසිකිලියට යාම සඳහා ටුක් ටුක් එක නවතා තිබිය දී කිසිවෙකු විසින් ගමන් බලපත්‍රය සොරකම් කර තිබූ නිසාවෙනි.