ජර්මානු දුම්රියේ ප්‍රහාරකයාගේ කාමරයේ IS ධජයක්

Train attack site in Germany, 18 July

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරකයා පලා යාමට උත්සාහ කිරීමේ දී පොලීසිය විසින් වෙඩි තබා මරා දමනු ලැබීය

පොරවකින් සහ පිහියකින් දකුණු ජර්මනියේ දුම්රියක සිටි මගීන්ට ප්‍රහාරයක් එල්ල කළ ඇෆ්ඝනිස්තාන ජාතික සරණාගතයෙකුගේ කාමරයේ අතින් අඳිනලද ඉස්ලාම් රාජ්‍ය ධජයක් තිබුණු බව ජර්මානු බලධාරීහු පවසති.

සඳුදා සවස වුර්ස්බර්ග් හි දී වයස 17ක් වන ප්‍රහාරකයා සිදුකළ ප්‍රහාරයෙන් හොංකො ජාතික මගීන් හතර දෙනෙකුට තුවාල සිදුවුණු අතර ඉන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

පසුව පලා යාමට තැත් කිරීමේ දී පොලීසිය විසින් ප්‍රහාරකයා මරා දමනු ලැබිණි.

වාර්තාවන ආකාරයට ප්‍රහාරකයා 'අල්ලාහු අක්බර්' (දෙවියන් ශ්‍රේෂ්ඨයි) යනුවෙන් කෑ ගසා ඇත.

Bloodstains on the floor of the train carriage. 18 July 2016

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, දුම්රිය මැදිරිය තුල ලේ වැගිරී ඇති අයුරු

ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට අයත් යයි සැලකෙන පුද්ගලයෙකු විසින් ප්‍රංශයේ නීස් හි දී සිදුකළ බිහිසුණු ට්‍රක් රථ ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුවයි ජර්මනියේ දී මෙම ප්‍රහාරය සිදුවී ඇත්තේ.

බැවෙරියා පළාතේ ස්වදේශ කටයුතු පිලිබඳ ඇමති ජෝෂිම් හර්මන් රූපවාහිනියට පැවසුවේ නුදුරු නගරයක් වන ඔච්සේන්ෆර්ට් හි ඇති ප්‍රහාරකයාගේ නවා තැනේ තිබී ඉස්ලාම් රාජ්‍ය ධජයක් හමුවී ඇති බවයි.

ප්‍රහාරක ඇෆ්ඝන් ජාතික තරුණයා ඉස්ලාම් රාජ්‍ය සංවිධාන සාමාජිකයෙක්ද නැතිනම් තමන් විසින්ම මෑත කාලයේ දී අන්තවාදයට නැඹුරු වූවෙක්ද යන්න පිළිබඳව තවමත් පැහැදිලිව ප්‍රකාශයක් කළ නොහැකි බවයි ඔහු පැවසුවේ.

පසුගිය වසරේ ජර්මනිය මිළියනයකට අධික සරණාගතයන් පිරිසකට රටතුළ ලියාපදිංචිය ලබා දුන් අතර ඔවුන් අතරින් එක්ලක්ෂ පනස්දහසකට වැඩි පිරිසක් ඇෆ්ඝන් ජාතිකයන්ය.