කුල ගෞරවයට දිවි දුන් සමාජ මාධ්‍ය තාරකාව

කතාබහට ලක් වූ පාකිස්තානයේ සමාජ මාධ්‍ය ජාල තාරකාවක් වන කන්දීල් බලෝච් ඇයගේ සහෝදරයා විසින් ඝාතනය කරනු ලැබ ඇති බව එරට පොලිසිය පවසයි.
පවුලේ ගෞරවය රැක ගැනීමේ අදහසින් ඝාතනය සිදු කොට ඇති බවයි පොලිසිය කියා සිටියේ.
නිරූපිකාවක් වූ ඇය විසින් ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය තුළ පළ කරන ලද 'සරාගී' ඡායාරූප සහ අදහස් දැඩි කතාබහට ලක් විය.
නූතන සමාජයේ ස්ත්‍රීවාදියක් ලෙස පෙනී සිටි ඇයගේ හැසිරීම ගතානුගතිකවාදීන් විසින් හෙලා දකිනු ලැබිණ.
අවස්ථා කීපයකදී ඇයට මරණ තර්ජන එල්ල වී තිබේ.

විසි හය හැවිරිදි කන්දීල් බලෝච්ගේ ගෙල සිර කොට මරා දැමූ බවට චෝදනා එල්ල වන ඇයගේ සොහොයුරා නිවසින් පළා ගොස් ඇති බවත් පොලිසිය කියා සිටියි.
පවුලේ ගෞරවය රැක ගැනීමේ අදහසින් සිදු වන ස්ත්‍රී ඝාතන පාකිස්තානයෙන් නිතර වාර්තා වේ.




