ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෝකයේ බර වැඩිම ළමයා ඉන්දුනීසියාවෙන්
ලොව ස්ථුල භාවයෙන් වැඩිම දරුවා ලෙස ජනමාධ්‍ය විසින් නම් කරනු ලැබූ දස හැවිරිදි ඉන්දුනීසියානු දරුවාගේ මව සිය පුතුගේ ජීවිත සටන මෙසේ විස්තර කළාය.
සිය පුතු පරීක්ෂාවට ලක් කළ වෛද්‍යවරු ඔහුට විශේෂ ආහාර වේලක් සකසා දීමට උපදෙස් ලබා දුන් බවයි දස හැවිරිදි ආර්යා ගේ මව කියා සිටියේ.
කිලෝ එකසිය අසූ අටක බරින් යුතු ආර්යා පෙර්මානා දරුණු රෝගී තත්වයක් ලෙස සැලකිය හැකි මට්ටමින් ස්ථුල භාවයෙන් පෙලෙන බව පවසන වෛද්‍යවරුන් ඔහුගේ දෙමව්පියන්ට උපදෙස් ලබා දී ඇත්තේ රතු හාලෙන් සැකසූ බත් සමග එළවලු සහ පළතුරු ආහාරයට ගැනීමෙන් ආර්යාගේ ස්ථුල භාවය යම් දුරකට අඩු කර ගැනීමට හැකිවනු ඇති බවයි.
අධික ශරීර බර හේතුවෙන් මේ වන විට ආර්යා පාසල් ගමන නවතා ඇති අතර ඔහුගේ මිතුරන් ඉඳහිට ඔහු සමග සෙල්ලම් කිරීමට නිවසට පැමිණෙන බවයි ආර්යාගේ මව රොකායා පවසන්නේ.
'මගේ බලාපොරොත්තුව ආයෙත් මගේ පුතා ඉස්කෝලේ යනවා දකින්නයි! මට ඕනේ එයා ඉස්සර හිටියා වගේ කෙට්ටු වෙනවා දකින්නයි.' බලාපොරොත්තු පිරි දෙනෙතින් බලා සිටි රොකායා සිය කතාව අවසන් කළේ සිය පුතු කුඩා කාලයේ කෙළි සෙල්ලමේ යෙදෙන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් වාර්තාකාරිණිය දෙසට දිගු කරමින්.