ශත හතට කෑම දෙන ජයලලිතා ගේ 'අම්මා කැන්ටිම'

තමිල්නාඩු මහා ඇමතිනී ජයලලිතා ජයරාම් ට හිමි 'අම්මා ආපන ශාලා' ඉතාමත් සුළු මුදලකට දිනකට දස දහස් ගණන් පිරිසකට කෑම බීම සපයන හේතුවෙන් දුප්පත් සහ මධ්‍යම පන්තික ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ඇති බව චෙන්නායි නගරයේ සිට බීබීසීයේ ගීතා පාන්ඩේ වාර්තා කරයි.

මේ ඇයගේ වචනයෙන් ම පවසන 'අම්මා කැන්ටිම' පිලිබඳ කතාවයි.

ග්‍රීෂ්ම ඍතුවේ දවසක දිවා කාලයේ දී මම එකතු වුණේ චෙන්නායි අගනගරයට නුදුරින් තියන පල්ලවරම් නගරයේ තියන 'අම්මා කැන්ටිමේ' පෝලිමට.

අද කෑම ලයිස්තුවේ තියෙන්නෙ සම්බා බත්, ඒ කියන්නෙ පරිප්පු සහ තුනපහ මිශ්‍ර බතක්, සහ මිදවූ කිරි සහ කරපිංචා සමග පිසූ බතක්.

මුල් බත් පිඟාන විකුණන්නේ රුපියල් පහකට, ඊට පස්සේ එක රුපියල් තුනකට දෙනව. වෙනත් ආපන ශාලා වල වෙනත් කෑම පිඟානක් අලෙවි කරන්නෙත් ඒ මුදලට.

මම මේ හැම වර්ගයකින්ම කෑම අරගෙන කාමරය මැද්දේ තිබුණු මේසයට ගියා.

උෂ්ණත්වය සහ පරිසරයේ පවතින ගිනියම් බව නිසාම සම්බා බත් පිඟාන මට ටිකක් සර වැඩියි කියල හිතුන.

එත් මාත් එක්ක කෑම ගත්ත දිනපතා පඩියට වැඩ කරන කම්කරුවො, ගෘහ සේවිකාවෝ, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහ මධ්‍යම පාන්තික කාර්යාල සේවකයින් මේ කෑම සර වැඩියි කිව්වෙ නැහැ.

බත් පිඟානේ ගොඩක් කෑම තිබුණ. ඒ වගේම ඒවා හරිම රසයි.

මේ ආපන ශාලාවට කිට්ටුවෙන් ඇති නිවසක ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කරන ලක්ෂ්මී මේ කැන්ටිමට දිනපතා පැමිණෙන කෙනෙක්.

'ඉස්සර මම වැඩ කරන ගෙදර අය මට ඉතුරුවෙන කෑම දුන්න. එත් දැන් මම හැමදාම උදේ කෑමටයි, දවල් කෑමටයි, රෑ කෑමටයි මෙතෙන්ට එනව. රුපියල් 20 කටත් අඩුවෙන් මට වේල් තුනම කන්න පුළුවන්' කියල ඇය කිව්ව.

'මේ කෑම හරිම හොඳයි, මම කැමතියි මේ සේරම කෑම වර්ග වලට, බඩ පිරෙන්න කන්න පුළුවන්' ඇය එහෙම කිව්වෙ හරිම සතුටින්.

මේ අම්මා කැන්ටිමේ මිල දී ගන්න තියන කෑම වට්ටෝරුව දිහා මම බැලුව.

  • උදෑසන ආහාරය (උදෑසන 7 සිට 10 දක්වා) - ඉඩ්ලි (රුපියල් 1) පොංගල් බත් (පරිප්පු සහ තුනපහ මිශ්‍ර බත්) -රුපියල් 5 යි
  • දිවා ආහාරය (දවල් 12 සිට සවස 3 දක්වා) -සම්බා බත් (පරිප්පු සහ තුනපහ මිශ්‍ර බතක්) හෝ ලෙමන් බත් හෝ කරපිංචා සමග පිසූ බත් - රුපියල් 5 යි සහ මිදවූ කිරි සහ කරපිංචා සමග පිසූ බත් - රුපියල් 3 යි
  • රාත්‍රී ආහාරය ( සවස 5 සිට සවස 7.30 දක්වා ) - රොටී දෙකක් සමග පරිප්පු -රුපියල් 3 යි

රාජු කියන්නෙ පන්ජාබ් වල ඉඳල ආපු ගොඩනැගිලි සෑදීමේ නියුතු අයෙක්. ඔහුට මේ අම්මා කැන්ටිම හඳුන්වල දීල තියෙන්නෙ ඔහුගෙ මිතුරන් විසින්.

"මම දවසකට රුපියල් 400 ක් හම්බ කරනව. මේ කැන්ටිම ආරම්භ වෙන්න කලින් මම දවසකට රුපියල් 150 ක් කෑම වලට වියදම් කළා. එත් දැන් දවසටම රුපියල් 20 වියදම් වෙන්නෙ" කියල ඔහු කිව්ව.

ජයලලිතා මේ කැන්ටින් ආරම්භ කළේ 2013 දි. ඇය ප්‍රසිද්ධ වෙලා ඉන්නේ අම්මා කියන නමින්. ඒ නිසා මේ ආපන ශාලා වලින් බලාපොරොත්තු වෙන්නෙ අඩුමුදලට මිනිස්සුන්ට කෑම සපයන එක.

අද වන විට මේ ප්‍රාන්තයේ පමණක් 'අම්මා කැන්ටින්' 300 ක් විතර තියනව. ඒවායෙන් භාගයක් විතර තියෙන්නෙ චෙන්නායි වල. සතියේ දවස් හතේම කෑම ලබාදෙනවා.

AIADMK පක්ෂයේ ප්‍රකාශිකා සී ආර් සරස්වතී කියන්නෙ ජයලලිතා මෙම ආපන ශාලා ආරම්භ කළේ හොඳ කෑම ලාභයට ලබා දීම සඳහා කියල.

"මේ කෑම සෞඛ්‍යාරක්ෂිතව පිසින ලද ආහාර, ඒ වගේම ප්‍රනීතයි, මේ ආපන ශාලා නිසා දහස් ගණනක් කාන්තාවන්ට රැකියා ලැබිල තියනව" කියලයි සරස්වතී කියන්නෙ.

මේ ව්‍යාපෘතියෙන් මහා ඇමතිනී ජය ලලිතාටත් ප්‍රතිලාභයක් තියනනව. මිනිස්සුන්ගේ කළ ගුණ සැලකීම ඡන්ද බවට පත්වෙලා අවුරුද්දක කාලයකට පස්සේ ජයලලිතාගේ පක්ෂයට පාර්ලිමේන්තු ආසන 39න් 37 ක්ම දිනාගන්න පුළුවන් වුණා.

විමර්ශන වලින් පැහැදිළි වෙලා තියෙන්නෙ අම්මා කැන්ටින් නිසා ඡන්ද ප්‍රමාණය වැඩිවූ බව.