ළමා දූෂණයට දඬුවම මරණය හෝ වඳභාවය

Yuyun's family: father, brother, and mom

ඡායාරූප මූලාශ්‍රය, BBC/Rika Kurnia Ningsih

ඡායාරූප ශීර්ෂ වැකිය, සුමාත්‍රාවේ පාසැල් ශිෂ්‍යාවක් වන යූ යුන් ගේ මරණය පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ සුළු ප්‍රචාරයක් ලැබී තිබුණි

ළමයින් දුෂණය කරන්නන්ට මරණ දඬුවම ලබා දීමට හෝ රසායනික වන්ධ්‍යකරණය කිරීමට ඉන්දුනීසියාව තීරණය කර තිබේ.

මෑතක දී වයස 14 ක ගැහැණු දරුවකු සමූහ දුෂණයට ලක්කිරීම සහ තවත් කළහ කාරී අපරාධ කිහිපයක් වාර්තා වීමෙන් පසුවයි එරට බලධාරීන් විසින් මෙසේ ළමා දුෂණය සඳහා උපරිම දඬුවම් ලබා දීමට තීරණය කර ඇත්තේ.

ජනාධිපති ජෝකෝ විදොදෝ පැවසුවේ ළමයින්ට සිදුවන ලිංගික හිංසනයන් පිටු දැකීම මේ දඬුවමේ අරමුණ බවයි.

මීට ප්‍රථම ළමා හෝ වැඩිහිටි දුෂණයක් සඳහා උපරිම දඬුවම වූයේ වසර 14 කට බන්ධනාගාර ගත කිරීම පමණි.

ළමයින්ට අනෙකුත් ලිංගික වැරදි සිදුකරන්නවුන්ටද බන්ධනාගාරයෙන් නිදහස් වීමෙන් පසු ඉලෙක්ට්‍රොනික නිරීක්ෂණ පටියක් පැළඳීමටද සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

An Indonesian woman holds up a pink sign with black lettering on it, reading "don't tell us how to dress, tell them not to rape", at a protest in Jakarta on 18 September 2011, against remarks made by Jakarta City Governor Fauzi Bowo that partly blamed a gang-rape on the victim's choice of clothing.

ඡායාරූප මූලාශ්‍රය, AFP

මේ මස මුල දී වයස 18 ක කම්හල් සේවකයෙකු විසින් වයස 14 ක් වූ යූ යුන් නමැති පාසැල් දැරිය පාසලේ සිට නිවසට එමින් සිටිය දී දුෂණය කර අමානුෂික ලෙස මරා දමා තිබීම හේතුවෙන් රට පුරා මහත් ආන්දෝලනයක් ඇතිවිය.

විශේෂයෙන්ම ළමයින් දුෂණයට ලක්කරන්නන්ට උපරිම දඬුවම් වශයෙන් මරණීය දණ්ඩනය හෝ රසායනික ක්‍රම මගින් වන්ධ්යකරණයට ලක්කිරීම කළ යුතු බවට සමාජ මාධ්‍ය ජාලා මගින් දැඩි ඉල්ලීමක් කර තිබුණි.

එහෙත් ප්‍රධාන පෙලේ ක්‍රියාධරයන් කිහිපදෙනෙකු විසින් මෙම යෝජනාවට විරුද්ධව මත පළ කොට තිබුණි.

ඉන්දුනීසියාවේ කාන්තා හිංසනයට එරෙහි ජාතික කොමිසමේ මරියානා අමිනුදී ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබුණේ "රසායනික වන්ධ්‍යකරණයට ලක් කිරීමේ නීතිය මගින් පැහැදිලි වන්නේ රජය ලිංගික හිංසනය ප්‍රචණ්ඩත්වයක් හෝ සැහැසිකමක් ලෙස නොදකින නමුත් ලිංගික ආශාව මර්ධනය කිරීමට කටයුතු කිරීමක්" ලෙසටයි

ඒ අතර මානව හිමිකම් පිලිබඳ ජාතික කොමිසමේ සැන්ඩ්රා මොනියාගා ලියා තිබුණේ "සැහැසිකම් සහාසික නීති මගින් නැවැත්විය නොහැකිය" යන්නයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති නියමයෙන් හඳුන්වා දුන් නව නීතිය පාර්ලිමේන්තුව මගින් පසුවවෙනස් කළ හැකිව තිබේ.

අසාමාන්‍ය අපරාධයන් සඳහා අසාමාන්‍ය දඬුවම් ලැබීමක් අවශ්‍ය බවයි ජනාධිපති විදොදෝ ප්‍රකාශ කළේ.