උතුරු කොරියාව සමග සාකච්ඡාවට ට්‍රම්ප් සූදානම්

Trump & Kim
ඡායාරූප ශීර්ෂ වැකිය, මෙය ඇමරිකානු නායකයෙකු මේ දක්වා ගෙන නොතිබූ දේශපාලන තීරණයක් බවටයි පිළිගැනෙන්නේ.

ඇමරිකාවේ ජනාධිපතිවරණ නාමයෝජනා අපේක්ෂාවෙන් තරඟ වැදී සිටින රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රුම්ප් පෙනී සිටි නවතම සම්මුඛ සාකච්ඡා දෙකක දී ඔහු තම විදේශ ප්‍රතිපත්ති ඉලක්කයන් සහ කාන්තාවන් පිලිබඳ ආකල්ප මතුකොට දක්වා තිබේ.

තමා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මුනගැසී ඔහුගේ න්‍යෂ්ඨික වැඩසටහන පිලිබඳ සාකච්ඡා කිරීමට අදහස් කරන බව ට්‍රම්ප් රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

මෙය ඇමරිකානු නායකයෙකු විසින් මේ දක්වා ගෙන නොතිබූ දේශපාලන තීරණයක් බවටයි පිළිගැනෙන්නේ.

Donald Trump

ඡායාරූප මූලාශ්‍රය, Reuters

එසේම 2008 දී වැනි ලෝක ආර්ථික කඩාවැටීමක් වැළැක්වීම පිණිස පනවා ඇති මුල්‍යමය සීමාකිරීම් ඉවත්කර දැමීමට ද ඔහු යෝජනා කර තිබේ.

'ෆොක්ස් නිව්ස්' සමග පැවති තවත් සම්මුඛ සාකච්ඡාවක දී ඔහු විසින් පසුගිය අගෝස්තු මාසයේ අපේක්ෂකයන්ගේ විවාදයක දී සමච්චලයට ලක් කරනු ලැබු කෙලී නම් නිවේදිකාව හමුවී තිබුණි.

එහිදී තමන්ව 'මොලයක් නැති ගැහැනියක්' ලෙස හැඳින්වුවා නොවේදැයි ඇය ට්‍රම්ප් ගෙන් ප්‍රශ්ණ කළ මොහොතේ ඔහු පවසා ඇත්තේ තමන් සමාජ වෙබ් අඩවි භාවිතා කරන්නේ ප්‍රතිඋත්තර දීමට මිස කිසිවෙකුට පීඩා කිරීමට නොවන බවයි.