'දම්පැහැ වැස්සේ' නික්ම ගිය ප්‍රින්ස්
ජනතාව අතර ඉපිද ජනතාව සමග හැදී වැඩී ජනතා හදවත් තුළ සදා නොමැකෙන ආදරණීය මතකයක් ඉතිරිකර මියගිය 'කුමාරවරුන්' පිලිබඳ අසන්නට ලැබේ නම් ඒ කලාතුරකිනි.
වර්ෂ එක්දහස් නමසිය පනස් අටේ ජූනි මස හත් වැනිදා ඇමරිකාවේ මිනෙසෝටා හි දී උපන් ප්‍රින්ස් රොජර්ස් නෙල්සන් එවැනි අයෙකි.

ඡායාරූප මූලාශ්‍රය, PA
ප්‍රින්ස් නමින් ලෝකය පුරා සුවහසක් සංගීත ලෝලීන්ගේ සිහින කුමරා බවට පත්වූ ඒ අසහාය සංගීතවේදියා හදිසියේ මෙලොව හැර යාම කෙතරම් ලොව සසල කළේ දැයි වටහා ගන්නට බොහෝ රටවල ගොඩනැගිලි, පුවත්පත් මුල් පිටු සහ වෙබ් අඩවි දෙස පමණක් බැලීම ප්‍රමාණවත් වේ.
ඒ සියල්ල දම් පැහැයෙන් සරසා තිබෙන්නේ 'දම්පැහැ වැස්ස' යන අරුත් දෙන පර්පල් රේන් (Purple Rain) ගීත තැටියෙන් ජන හද දිනු ප්‍රින්ස්ට උපහාරයක් ලෙසිනි.
පොප් ගායකයකු ලෙසින් අසූව දශකයේදී ජනප්‍රියත්වයට පත්වූ ප්‍රින්ස් බ්‍රහස්පතින්දා මිනෙසෝටා හි පිහිටි සිය නිවසේදී මියගොස් තිබුණි. ඔහුගේ මරණයට හේතුව කුමක්දැයි තවමත් අනාවරණය වී නැත.
ඇමරිකාවේ නාසා ආයතනයද දම්පැහැති නෙබියුලාවක ඡායාරුපයක් එළිදක්වා තිබුණේ මේ අද්විතීය ගායකයාට උපහාර දැක්වීම සඳහායි.

ඡායාරූප මූලාශ්‍රය, AP
මියයන විට 57 වැනි වියේ පසු වුනු මේ අසහාය ගායකයා ගේ ගීත ඇල්බමයන් 39 ක පිටපත් මිලියන සීයක් ලොවපුරා අලෙවි වී තිබේ. ඇතැමුන් විශ්වාස කරන ආකාරයට ලොව බිහි වූ විශිෂ්ඨතම වේදිකා නිරූපන ශිල්පියා වන්නේ ප්‍රින්ස් ය.
ඔහු පිලිබඳ තවත් තොරතුරුවලට ඉහත හඬ පටයෙන් සවන් දෙන්න.