සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට?

ඡායාරූප මූලාශ්‍රය, Kabir Hashim
ඉඩම් අමාත්‍ය එම්කේඩීඑස් ගුණවර්ධනගේ අභාවයෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට හෝ වෙනත් කිසිවෙකුට ලබා දෙන්නේද යන්න ඉදිරි දින දෙක ඇතුළත තීන්දු කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු නම් කීපයක් යෝජනා වී ඇති බව සඳහන් කළ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් ඒ සම්බන්ධයෙන් පක්ෂය හෝ පක්ෂ නායකත්වය මේ දක්වා නිශ්චිත තීන්දුවක් ගෙන නොමැති බවයි කියා සිටියේ.
පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සමඟ එක්සත් ජාතික පක්ෂය සාකච්ඡා කොට ඇත්දැයි බීබීසී සංදේශය විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ, එවැනි සාකච්ඡාවක් නොපැවති නමුත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ පාර්ශවය නියෝජනය කරන කණ්ඩායම් කීපයක් ඔහුගේ නම යෝජනා කළ බවයි.
එක්සත් ජාතික පක්ෂය හා එක් වීම සම්බන්ධයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඇතුළු පක්ෂ කීපයක් සමග සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා බීබීසී සංදේශයට පැවසීය.
එජාපය සමග සාකච්ඡා
"අපේ පක්ෂය සමග එකතු වීමට කැමති පක්ෂ කීපයක් සමග සාකච්ඡා වට කීපයක් තිබ්බා. නමුත් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණවලට ආවේ නැහැ," ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty
"ඒ සම්බන්ධයෙන් ඒ ඒ පක්ෂවල ප්‍රධානීන් හා නියෝජිතයන් එක් වී තීන්දුවක් ගන්නා බව අපට දැන්වුවා. අපි ආරාධනා කළා එක්සත් ජාතික පක්ෂය සමග එක් වෙන්න කියලා."
එම්කේඩීඑස් ගුණවර්ධන අමාත්‍යවරයාගේ අභාවයෙන් පුරප්පාඩු වූ ඉඩම් අමාත්‍ය ධුරය සම්බන්ධයෙන්ද තීන්දුවක් ගැනීමට නියමිත නමුත් අදාළ අමාත්‍ය ධූරය නව මන්ත්‍රීවරයාට පිරිනැමෙනු ඇතැයි සහතිකයක් නැති බවත් අමාත්‍යවරයා පැවසීය.
සිය පක්ෂය සඳහා පසුගිය වසරේ පිහිටුවන ලද නායකත්ව මණ්ඩලය විසුරුවා හැරීමට තීරණය කළ බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් සඳහන් කළේය.
පක්ෂයේ තවත් ප්‍රතිසංස්කරණ ගණනාවක් පිළිබඳ අවධානය පළ වී තිබෙන බවත් පවසන එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා, පක්ෂයේ ප්‍රධාන තනතුරු අහෝසි කිරීමේ උත්සාහයක් නැති බවත් පැවසීය.








