පෙරහැරේ ගියත් මමත් ලඟින්ම ඉන්න ඕනෑ - ඥානවතී
ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න -බීබීසී ප්‍රාදේශීය වාර්තාකරු
ඇතැම් රැකියාවන් පිරිමි පාර්ශවයට පමණක් කැප බවයි සාම්ප්‍රදායික පිළිගැනීම.ශ්‍රී ලංකාවේ අලි බැලීම එවැනි රැකියාවක්. එය ස්ත්‍රීන්ට අකැප බවට සම්ප්‍රදායික පිළිගැනීමක් පවතියි.
එවැනි සමාජ පරිසරයක් තුළ, රැකියාව ලෙස අලියකු බලන කාන්තාවක් වන ඥානවතී කියන කතාවයි මේ.
'මට හැමෝම කියන්නේ අලි බාසුන්නැහැ කියලා . මට ඒක ගැන හරි සතුටුයි . මම හිතන්නේ ලෝකයේ අලි බාසුන්නැහැ කියන එකම කාන්තාව මම කියලයි'
පි.ඥානවති ගේ උපන් ගම මතුගම. මේ වන විට දොම්පේ ග්‍රාමයේ ජිවත් වන ඥානවති ගේ වයස අවුරුදු හැට පහක්.
ඥානවති අලි බැලීමට පුහුණු වීමේ කතාවත් ඥානවති ගේ විවාහයත් අතර ඇත්තේ අපුරු සම්බන්ධකමක්.
'මම අලි බලන්න පුරුදු වුනේ මගේ මහත්තයා නිසා . එයා අලි අරගෙන මතුගමට ආවා. අපේ තාත්තත් එක්ක වැඩ කළා. ඒ අතරේ තමයි මට මහත්තයා ලැබුනේ එයා අලි බලපු නිසා මටත් ආශාවක් හිතුනා. මමත් අලි පස්සේ වැටුනා. ඒක දිගටම ගියා. විවාහ වුනාට අපිට දරුවෝ නැහැ. දැන් ඉන්න මේ අලියා තමයි අපේ දරුවා. මම ආදරේට මේ අලියට කියන්නේ පැටියා කියලා'
ගුණේ මට හීලෑයි
මේ වන විට 'ගුණේ ' නමැති අවුරුදු 70 ක් පමණ වයසැති අලියා ඥානවති විසින් රැක බලා ගන්නේ ඉතාමත්ම ආදරෙන්. බර වැඩ නොගන්නා මේ අලියාගෙන් ඥානවති බලාපොරොත්තු වන්නේ පෙරහැරේ යාම පමණයි.
'ලංකාවේ ගොඩක් පෙරහැර වලට මේ අලියා ගෙනියනවා. මට තනියම මේ වැඩේ කරන්න අමාරුයි. මොකද මේ අලියට දැන් වයසට හැදෙන ලෙඩ රෝග ගොඩක් තියනවා. මහත්තයත් මාත් එක්ක ඉන්නවා. හැබැයි අලියා මෙල්ල කරන්න පුළුවන් මට විතරයි. ගොඩමුනේ මහත්තයා ගෙන් අපි මේ අලියා ඉල්ලා ගත්තේ ගස් බැඳලා ඉද්දි. ඒ කියන්නේ මේ අලියා හරි වසයි. නමුත් මට කිසිම දවසක ගැටලුවක් වෙලා නැහැ. පෙරහැරේ යද්දිත් මම ලගින්ම ඉන්න ඕනෑ'
අලියෙකු පාලනය කිරීම සඳහා ගෙන යනු ලබන හෙන්ඩුවත්, අලි පිහියත් රැගෙන "ගුණේ " පෙරටු කරගනිමින් ඥානවති ගමන් කරන අයුරු දැක බලා ගැනීම සඳහා ප්‍රදේශවාසින් මෙන්ම මහා මග ගමන් කරන්නන්ද දක්වන්නේ ඉමහත් කැමැත්තක්.
තවත් අලි පැටියෙක් ලැබුනොත්
මම දරුවෝ නැහැ කියලා කවමදාවත් දුක් වුනේ නැහැ. මගේ දරුවා තමයි මේ අලියා. අපි තුන් දෙන බොහොම සතුටින් ජිවත් වෙනවා. අපි දෙන්නා කෑම කන්න ඉස්සරලා ගුනේගේ බඩ පුරවනවා. ඌට අසනීපයක් වුනොත් එදාට අපි දෙන්නටම කන්න බැහැ. දැන් දැන් ගුණේ වයසට වඩා ලෙඩ වෙලා. මේ නිසා ගුණේ බලා කියා ගන්න, අපේ තනි නොතනියට තවත් අලි පැටියෙක් ලැබුනොත් කියන බලාපොරොත්තුව තමයි මගේ තියෙන්නේ. එහෙම උනොත් ගුනේගේ අවසාන කාලය වගේම අපෙත් අවසාන කාලය හොඳ වෙයි.