පොහොර සහනාධාරය: 'කුමන්ත්‍රණයක් බවට සැකයක්'

    • Author, රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
    • Role, හම්බන්තොට

පොහොර සහනාධාරය කපා හැරීම තුළින් ලක්ෂ දහඅටකට ආසන්න වූ ගොවි ජනතාවක් දැඩි අසීරුතාවයකට ලක්ව ඇති බව ගොවි සංවිධාන නායකයෝ පවසති.

ඔවුන් මේ බව කියා සිටියේ ගොවි අයිතීන් සුරැකීමේ ජාතික සන්ධානය තංගල්ලේ දී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී යි.

මෙහිදී කතා කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජේ .ආර් .ඩි .සිරිපාල පැවසුවේ අලුත් ක්‍රමය යටතේ පොහොර ලබා දෙන්නේ කුමන මිලකටද යන්න රජය සඳහන් කර නොමැති බවයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජේ .ආර් .ඩි .සිරිපාල
ඡායාරූප ශීර්ෂ වැකිය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජේ .ආර් .ඩි .සිරිපාල

'කුමන්ත්‍රණයක්'

''අපි යම්කිසි නිර්දේශිත ක්‍රමයකට කුඹුරකට පොහොර යොදන්න ඕනා. අපි මේ සඳහා පොහොර ගත්තේ කිලෝ එකක් රුපියල් හත බැගින් සහනාධාර යටතේ. දැන් අපි අලුත් ක්‍රමයකට යන කොට එදා අක්කරයකට රුපියල් 896 කට ගත්ත පොහොර ඒ මිලට ගන්න පුළුවන් කමක් නෑ. අපට දැන ගන්න තියෙන විදියට විවෘත වෙළඳ පොලේ රුපියල් 3900 ක් පමණ වෙනවා මේ පොහොර මිටියක්. අපිට රජය කියලා නෑ මේ පොහොර මිටියක් ලබා දෙන කොට අපට මොන මිලකටද ලබා දෙන්නේ කියලා. ඒ නිසා අපට සැකයක් තියෙනවා මේ පොහොර සහනාධාරය කපා හැරීම තුල යම්කිසි කුමන්ත්‍රණයක් ඇති බව” ඔහු පැවසීය.

''අපට අක්කරයකට රුපියල් 12500 කට පමණ ලබා දෙන පොහොර පිළිබඳව එහි ප්‍රමිතීන් පිළිබඳව අපට සැකයක් තියෙනවා. කිලෝ 50 මිටියක් 3900ක් වෙන කොට කිලෝ වක් රුපියල් 78ක් වෙනවා. එතොකොට රුපියල් 71 ක් වැඩිපුර අපිට වැයකරන්න සිදුවෙනවා. අක්කරයක් හිමි ගොවියෙක් සාමාන්‍යයෙන් ගත්තහම රුපියල් 55313ක් පමණ අක්කරයක නිෂ්පාදන ක්‍රියාවලියට වියදම් වෙනවා. රුපියල් 30 කට කිලෝවක් විකුණුවත් වැඩ වියදම් කපා හරින කොට රුපියල් 19000ක් තමයි ගොවියෙකුට ලැබෙන්නේ මාස හයක් කන්න.''

ජාතික ගොවි සංවිධාන ප්‍රචාරක ලේකම් ශෂී එදිරිසුරිය
ඡායාරූප ශීර්ෂ වැකිය, ජාතික ගොවි සංවිධාන ප්‍රචාරක ලේකම් ශෂී එදිරිසුරිය

අමුඩෙ

“මුදල් ඇමතිතුමා කියලා තියෙනවා රුපියල් 35ට වෙනත් රටවලින් සහල් ගේන්න පුළුවන් කියලා. ඒ අඩුවට සහල් බෙදා හැරියම අපිට යන කල දවස මොකක්ද. අපි ගහගෙන ඉන්න අමුඩෙවත් ඉතිරි වෙන්නේ නෑ.” සභාපති ජේ .ආර් .ඩි. සිරිපාල තවදුරටත් කියා සිටියේය.

''අද සහල් මිල අඩු කරන්න කියලා වී මිල අඩු කරනවා. අපි අහන්නේ ඇයි සහල් මිල විතරක් අඩු කරන්නේ. මිනිස්සු බත් විතරද කන්නේ. අනෙක් ඒවත් අඩු කරන්න ඕනා. වී මිල විතරක් අඩු කරලා හැම පැත්තකින්ම අහිංසක ගොවියට ගහනවා.” මෙහිදී අදහස් දැක්වූ ජාතික ගොවි සංවිධාන ප්‍රචාරක ලේකම් ශෂී එදිරිසුරිය පැවසීය.

ගොවි සංවිධාන සාමාජික ජයන්ත වන්නිආරච්චි
ඡායාරූප ශීර්ෂ වැකිය, ගොවි සංවිධාන සාමාජික ජයන්ත වන්නිආරච්චි

කෘමිනාශක සම්බන්ධයෙන් රජයට නිසි ප්‍රතිපත්තියක් නැති බවයි ගොවි සංවිධාන සාමාජික ජයන්ත වන්නිආරච්චි කියා සිටියේ.

“රජය තහනම් කරන නිෂ්පාදන ටික අනෙක් පැත්තෙන් නැවත රටට ගෙන්වන්න වැඩ පිළිවෙළක් හරිගස්සල තියෙනවා. නීතියෙන් තහනම් හැබැයි ඒ කෘෂි රසායනික වැඩි මිලට වෙළද පොලේ තියෙනවා. අද මේ තහනම හරහා ද ගොවියා සුරා කෑමේ වැඩ පිළිවෙළක් තියෙනවා. රජයට නිසි ප්‍රතිපත්තියක් නෑ මේ පොහොර කෘෂි රසායනික පසට හා ගොවියාට පරිසරයට හිතකර කෘමිනාශක පද්ධතියක් හදන්න.” ඔහු පැවසීය.