'ICC විශ්වාසය දිනා ගන්න නිලවරණයක් විතරක් මදි'
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් පත් කර ගැනීම සඳහා එළඹෙන වසරේ ජනවාරි තුන්වැනි දින මැතිවරණයක් පවත්වන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශයක් කර තිබේ.
මේ වසරේ අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ කටයුතු සිදු කරනු ලැබුවේ රජය විසින් පත් කරන ලද ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් මගිනි.
කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම දේශපාලන පත් කිරීම් වලින් පිහිටුවන ලද අතුරු පාලක කමිටුව සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළ අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ලබා දෙන අරමුදල් තාවකාලිකව රඳවා ගනිමින් කියා සිටියේ 2016 ජනවාරි මස 26 වැනිදාට පෙර ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පත් කර ගන්නා ලෙසයි.

ඡායාරූප මූලාශ්‍රය, AP
ජනවාරියේ පැවති මැතිවරණයෙන් පසු නව ආණ්ඩුව කියා සිටියේ පෙර පැවති පාලක මණ්ඩලය යටතේ සිදු වූ බවට සැක කෙරෙන වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය නිසා මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලවරණය කල් දැමීමට කටයුතු කළ බවයි.
ක්‍රිකට් පාලනයේ බිඳ වැටීම්
දීර්ඝ කාලීන නිලධාරි ගැටුම්, දේශපාලන පත් කිරීම් සහ වංචා සහ දූෂණ චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවෙන් නව නිලධාරීන් පත් කර ගැනීමට මැතිවරණයක් පැවැත්වීමෙන් පමණක් එහි ආකෘතියේ සහ පාලනයේ බිඳ වැටීම් නැවත ස්ථාපිත කළ හැකිදැයි සංදේශය වෙනුවෙන් පවිත්‍රා පෙරේරා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරට යොමු කළ ප්‍රශ්නයකට ඇමතිවරයා ලබා දුන්නේ මෙවැනි පිළිතුරක්.
‘මම ඒක සම්පුර්ණයෙන් විශ්වාස කරන්නේ නැහැ, ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් තේරී පත් වන්නේ ක්‍රීඩා සමාජ වලින් ඉතින් මම දකින විදිහට එම ක්‍රීඩා සමාජ වලට වගකීමක් තියෙනවා ඒ ක්‍රීඩාව වැඩිදියුණු කිරීමට කටයුතු කරන්න. ඒක තමා ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළ, උදාහරණයක් විදිහට නිලවරණ තුලින් පත් වෙච්ච ක්‍රීඩා කමිටු වල පවා වංචා දූෂණ තියෙනවා ඉතින් ක්‍රිකට් වල දූෂණ වංචා සිද්ධ වෙනවයි කියලා ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් අලුතින් පත් කර ගැනීම නෙවෙයි කරන්න තියෙන්නේ ඒ දූෂණ වංචා වලට එරෙහිව අමාත්‍යාංශයක් වශයෙන් පියවර ගැනීමයි’ දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඡායාරූප මූලාශ්‍රය,
මැතිවරණයෙන් පත් වන නව ක්‍රිකට් පාලක මඩුල්ලේ නිලධාරීන් සමග සාකච්ඡා කොට ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ පිළිවෙළක් සකස් කිරීමටත්, ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය අමාත්‍යංශයේ අධීක්ෂණයට ලක් කිරීමටත්, අරමුදල් පරිහරණය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමටත් තමන් කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
මැතිවරණයට කල් ගත වුනේ ඇයි?
මේ වසරේ අප්‍රේල් මස මුල් භාගයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අප්‍රසාදයට පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ දේශපාලන පත් කිරීම් නිවැරදි කර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ව්‍යවස්ථාවට අනුකූලව නිලවරණයක් පවත්වා නව නිලධාරීන් පත් කර ගැනීමට මෙතරම් කාලයක් ගත වුනේ ඇයි දැයි සංදේශය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ තමන් ක්‍රීඩා අමාත්‍යංශය භාර ගැනීමට පෙර සිදු වූ කරුණු ගැන අදහස් පල කිරීමට තමන්ට නොහැකි බවයි.

ඡායාරූප මූලාශ්‍රය, BBC World Service
කෙසේ වෙතත් ඔහු ක්‍රීඩා අමාත්‍ය ධුරය භාර ගත් පසු මෙම දේශපාලන පත් කිරීමෙන් පිහිටුවා ගත් අතුරු පාලක කමිටුව විසුරුවා නිලවරණයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු ක්‍රියාවට නැංවූ බව ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට නව නිලධාරීන් පත් කර ගැනීමට නිලවරණයක් පැවැත්විය යුතු බවට තමන් ගෙනා යෝජනාවට එරෙහිව ඇතැම් ක්‍රීඩා සමාජ නඩු මගට පවා අවතීර්ණ වූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට නැවතත් විශ්වාසය සහ පිළිගැනීම දිනා ගැනීමට නම් නිලවරණයකින් නව නිලධාරීන් පත් කර ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙන අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සිව් අවුරුදු සංවර්ධන සැලසුමක් ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.