පොලිස් පහරදීම්: 'අද අසාධාරණය හෙට ඔබට විය හැකියි'

අසාධාරණයට ලක් වූ පුද්ගලයන් වෙනුවෙන් තමන් ඇතුළු නීතිවේදීන් පෙනි සිටිමේදී ඇතැම් සිදුවීම්වලට ප්‍රසිද්ධියක් ලැබුනත් බහුතරයක් එසේ නොවන බව නීතිඥ උදුල් ප්‍රේමරත්න පවසයි.

සැබෑ අපරාධකරුවන් වෙනුවට කවුරුන් හෝ අල්ලා ඔවුන්ට පහරදී ඔවුන් අපරාධකාරයන් කිරීමේ පොලිසියේ පිළිවෙතට එරෙහිව තමන් සටන් කරන බව පැවසූ උදුල් ප්‍රේමරත්න එසේ අසාධාරණයට ලක් වන්නේ බොහෝ විට සමාජයේ වරප්‍රසාද අඩු පිරිස් බවයි පෙන්වා දෙන්නේ

ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ වෙනුවෙන් පොලිසියේ අසාධාරණයටලක් වූවන් වෙනුවෙන් තමන් පෙනී සිටින බවට ඇතමුන් නගන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව නීතිඥවරයා කියා සිටියේ බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමග සංවාදයකට එක් වෙමින්.

'අසාධාරණයට එරෙහිව'

"ප්‍රසිද්ධ කළා නෙවෙයි, එවැනි සිදුවීම්වලට මැදිහත් වුණාම ඒවා ප්‍රසිද්ධ වෙනවා. ප්‍රසිද්ධ ඒවාට මැදිහත් වෙනවා නෙවෙයි මැදිහත් වුනාට පස්සේ ඒවා ප්‍රසිද්ධ සිද්ධීන් බවට පත් වෙනවා, ඒකට මොකද කරන්නේ"

රත්නපුර නගරයේ "බට්ටි" ලෙස හඳුන්වන කාන්තාවකට සිදු වූ පොලිස් පහර දීම, කොටදෙනියාවේ 17 හැවිරිදි ශිෂ්‍යා හා දිනේෂ් ප්‍රියසාද්ට පොලිසියෙන් සිදු වූ "අසාධාරණ" වෙනුවෙන් හඬ නැගීමට උදුල් ප්‍රේමරත්න ඇතුළු නීතිවේදීහු කණ්ඩායමක් පෙනී සිටියහ.

"මේ සටන සමහරු හිතනවා කොණ්ඩයා වෙනුවෙන් කියලා, කොණ්ඩයා පව් කියලා, එහෙම නෙවෙයි මෙතන ප්‍රශ්නේ තිබෙන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි අපේ ජනතා මුදලින් නඩත්තු වන ආයතනවලින් සිදු වන මේ අසාධාරණය හෙට ඔබට වෙන්න පුළුවන් හෙට මට වෙන්න පුළුවන්" නීතිඥ උදුල් ප්‍රේමරත්න වැඩිදුරටත් කියා සිටියේය.