යුද සමරුව;‘යුද ජය බල දේශපාලනයේ ආයුධයක්’
කොළඹ වාර්තාකරු අශාම් අමීන්ගේ වාර්තාවකි
යුද්ධය අවසන් වී වසර හයක් ගත වී ඇතත් ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවේ තවමත් ප්‍රධාන මාතෘකාවක් වී තිබෙන්නේ යුද්ධය සහ LTTE සංවිධානයයි.
පසුගිය ජනවාරි මාසයේ පැවැත්වුන ජනාධිපතිවරණයේ දී ප්‍රචාරක වේදිකාවන්හි පළ කෙරුණ අදහස් එයට උදාහරණ වෙති.
එම ජනාධිපතිවරණය සඳහා තරඟ වැදුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය අවසාන ප්‍රචාරක රැලියේ දී ඉස්මතු කළේ යුද ජයග්‍රහණයයි.
‘මේ මාතෘභූමිය කඩන්න මම ඉඩ තියන්නේ නැහැ.මේක මගේ මාතෘ භූමිය. එය කඩන්න මම ඉඩ දෙන්නේ නැහැ’ හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මේ අතර එම ජනාධිපතිවරණයෙන් ජය ගත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයාත් ජනමාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් ‘අපි කිසිවිටක යුද්ධයක් යළි ඇති වීමට ඉඩ තියන්නේ නැතැයි’ කියා සිටියේය.
‘කොටි සංවිධානයට ඔළුව උස්සන්න කිසිවිටකත් ඉඩ තියන්නේ නැහැ, මම බොහොම පැහැදිලිව කියනවා මේ රට කඩන්න - බෙදන්න ඉඩ දෙන්නේ නැහැ කියලා’ ජනාධිපති ධූර අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළේය.
සංහිඳියා න්‍යා පත්‍රයක්
යුද්ධය අවසාන වී වසර හයක් ගත වී ඇතත් ඉහත සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ දේශපාලකයන් තවමත් යුද ජයග්‍රහණය මත පමණක් දේශපාලනය කරන්නේ කුමක් නිසාදැයි බිබීසිය දේශපාලන විචාරක රජිත් කීර්ති තෙන්නකෝන්ගෙන් විමසීමක් කළ විට ඔහු කියා සිටියේ ‘පසුගිය අවුරුදු හයක කාලය තුළ රට තුළ සංහිඳියා න්‍යාය පත්‍රයක් ඉදිරියට ගෙන ක්‍රියාත්මක නො කෙරුණ’ බවයි.
ඒ වෙනුවට සිදු නොවිය යුතු ක්‍රියාවලියක් සිදු වෙමින් පැවති බවයි රජිත් කීර්ති තෙන්නකෝන් පෙන්වා දෙන්නේ.

‘එම පරිසරය තුළ ජයග්‍රාහකයා හා පරාජිතයා කියන කොටස් දෙකක් පිලිබඳ මානසිකත්වයක් ඇති වුනා. ඒක දේශපාලන බල ව්‍යාපෘතියේ මෙවලමක් හැටියට පාවිච්චි කෙරුණා’ රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
1971,1987- 89 වසරවල ශ්‍රී ලංකාවේ සිදු වූ කැරලි ගැසීම් එවකට බලයේ සිටි ආණ්ඩු මගින් මැඩ පවත්වන ලද අතර එම කැරලි ගැසීම් වලට හේතු වූ සමාජ ආර්ථික සහ දේශපාලන ගැටළු නිරාකරණය කිරීමට අදාළ වැඩසටහන් ක්‍රියාවට නැංවීමට එම ආණ්ඩු පියවර ගත් බවයි දේශපාලන විචාරක රජිත් කීර්ති තෙන්නකෝන් පෙන්වා දෙන්නේ.
‘නමුත් අපි දකින්නේ නැහැ- මෙම යුද ජයග්‍රහණය මත යැපෙන කණ්ඩායම් පසුගිය අවුරුදු හය තුළ මේ සැබෑ අර්බුදයේ අක්මුල් තියන්නේ කොතැනද? ප්‍රතිකාර කළ යුත්තේ කොතැනට ද? කියන කාරණය තේරුම් ගත් බවක් . දේශපාලකයන් ඒ අර්බුදය ඔවුන්ගේ දේශපාලන ජයග්‍රහණ සඳහා පාවිච්චි කරනවා’ ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
ජනවාරි අට වෙනිදාට පසු

යුද ජයග්‍රහණය දේශපාලන බල ව්‍යාපෘතියක් හැටියට යොදා ගනු ලැබීම ජනවාරි අට වැනිදා නව ජනාධිපතිවරයෙක් හා ආණ්ඩුවක් බලයට පත්වීමත් සමග අවසන් වී ඇද්දැයි බීබීසිය දේශපාලන විචාරක රජිත් කීර්ති තෙන්නකෝන්ගෙන් ප්‍රශ්න කළ විට ඔහු කියා සිටියේ, එක පාර්ශවයක් විසින් යුද ජයග්‍රහණය අලෙවි කිරීමේ දේශපාලන ව්‍යාපෘතිය වෙනදාටත් වැඩියෙන් සිදු කරමින් ඇති’ බවයි.
මේ අතර සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසන්නේ ‘යුද ජයග්‍රහණය තවදුරටත් දේශපාලන බල ව්‍යාපෘති සඳහා යොදා ගත නො හැකි අවලංගු සටන් පාඨයක් වන බව පසුගිය ජනාධිපතිවරණයේ දී ඔප්පු වූ’ බවයි.
හිටපු ජනාධිපතිවරයා නැවත බලයට ගෙන ආ යුතු බව පවසන ආචාර්ය දයාන් ජයතිලකගෙන් බීබීසිය මේ සම්බන්ධයෙන් කරුණු විමසූ විට ඔහු සඳහන් කළේ ‘තිස් වසරක යුද්ධයක් ජය ගත් නායකයෙකු වටා ඒ යුද ජයග්‍රහණය දේශපාලන වශයෙන් රැව් පිළිරැව් දීම ස්වාභාවික තත්වයක්’ බවයි.
ඉහත කී අදහස් රැගත් හඬ පටයට ඔබට මෙම පිටුවෙන් සවන් දිය හැකිය.